පිළිගත් ක්‍රමවේදයට පිටින් විදේශගත නොවන්න -ඔබ අමාරුවේ වැටෙයි

පිළිගත් ක්‍රමවේදයට පිටින් විදේශගත නොවන්න -ඔබ අමාරුවේ වැටෙයි
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු 11 වෙනි දින ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
 
අන් සතු ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව  බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවූ අතරව්‍යාජ  ජර්මානු වීසා බලපත්‍රයක් සහිතව විදේශගත වීමට පැමිණි 29 හැවිරිදි තරුණිය යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වෙයි.
 
කෙසේ නමුත් මෙම සැකකාර පුද්ගලයින් දෙදෙනාම නීතිවිරෝධී අන්දමින් විදේශගතවීම සඳහා විශාල මුදලක් වැය කර තිබූ අතර අවසානයේ මුදල් මෙන්ම විදේශගත වීමේ බලාපොරොත්තුද සුන්වී තිබුණි. තවද නීතිමය පියවරයන්ද ඔවුන්ට එරෙහිව ඉදිරි කාලයේ ගනු ඇති.
 
විදේශගතවීමේදී පිළිගත් ක්‍රමයෙන් බැහැරව නීතිවිරෝධී අන්දමින් විදේශගතවීම වර්තමානය තුළ සුලබව දැකිය හැකි අතර එනමුත් ඒ බොහෝමයක් ගුවන්තොටේදී හසුවෙයි. එය දැන දැනම නැවත වරක් එම වැරැද්දම කිරීමට පෙළඹීම අනුවන ක්‍රියාවක් බව හැඟෙයි. එම නිසා අමාරුවේ නොවැටී පිළිගත් ක්‍රමවේදයෙන් විදේශගතවීම කාටත් නුවණට හුරු කාරයයකි.