විදෙස්ගතව පැමිණෙන අයට නැවතත් සීමා පැනවෙයි - නිරෝධායන නීති දැඩිවෙයි

විදෙස්ගතව පැමිණෙන අයට නැවතත් සීමා පැනවෙයි - නිරෝධායන නීති දැඩිවෙයි
විදේශයේ සිට දිවයිනට පැමිණෙන ලාංකිකයින් අතුරින් බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා ඉදිරි කාලයේදී මෙරටට පැමිණෙන පුද්ගලයින් ප්‍රමාණය සීමා කිරීමකට හෝ පාලනය කිරීමකට ලක්කිරීමට සිදුවිය හැකි බව නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා  සඳහන් කළේ  මේ  වසරේ ගතවූ කාලය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 52,710 දෙනාගෙන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර අප්‍රේල් මස සිට මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 3,480 දෙනාගෙන් 538 දෙනෙකුම මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින්වන බවයි.
 
එමෙන්ම කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බොහෝ රටවල සංචරණ සීමා දැඩි කිරීමට සහ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති මොහොතක ලංකාවේ පවතින සාධනීය තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම සඳහා විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.
 
එසේම විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි බවත් ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි  පරිස්සම් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.