ඉතාලියේ සිට ගෙනා ලාංකිකයාගේ මෘත ශරීරයේ වෙඩි සලකුණු

ඉතාලියේ සිට ගෙනා ලාංකිකයාගේ මෘත ශරීරයේ වෙඩි සලකුණු
වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බවට වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඊයේ (18) සවස 4.00 පමණ එම සිරුර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති අතර  එලෙස මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකුවන බවයි.
 
මියගොස් තිබෙන පුද්ගලයා ඉතාලියේ ඇප්‍රේනියා නගරයේ සේවය කළ අයෙකුවන අතර ඔහු සේවය කළ ස්ථානයේ ඇති වූ යම් සිද්ධියකදී මේ පුද්ගලයා මියගොස් ඇති බවත් ඉන්පසුව ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
 
මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මරණ පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.