ලංකාවෙන් පිලිපීනයට යන අයට දොරටු වැසෙයි

ලංකාවෙන් පිලිපීනයට යන අයට දොරටු වැසෙයි

ඉන්දියාවේ සොයාගත් "ද්විත්ව විකෘති" කොරෝනා වෛරස් ප්‍රභේදය පාලනය කිරීම සඳහා හෙට (07) සිට මැයි 14දා දක්වා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් 4ක සිට පැමිණෙන සංචාරකයන්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට පිලිපීනය තීරණය කර ඇත.

ලංකාවට අමතරව පාකිස්තානය, බංග්ලාදේශය හා නේපාලයෙන් ගමන් කරන සංචාරකයන් සඳහා ද මෙම තහනම බලපැවැත්වේ.

ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් එරට විධායක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළ බව පිලිපීන පුවත් ඒජන්සිය වාර්තා කරයි.

පිලිපීනයට පැමිණීමට පෙර දින 14 ක් ඇතුළත පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව වෙත පැමිණෙන හෝ පැමිණි සියලුම මගීන්ට මෙම තහනම බලපැවැත්වේ.
කෙසේවෙතත්, මෙම රටවල් හරහා පිලිපීනයට ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් මෙම රටවල් තුළට යාමට එම රටවල ආගමන විගමන බලධාරීන් ගේ අවසර නොලැබ සම්පූර්ණ කාලය ගුවන්තොටුපල තුළ සිටියහොත් ඔවුන්ට මෙම තහනම බලපැවැත්නොවේ. දින 14ක් නිරෝධායන මධ්‍යස්ථාන වල සිටීමට ඔවුන්ට සිදු නොවන නමුත්, එරට රජය විසින් පනවා ඇති පරීක්ෂණ කිරීම් හා නිරෝධායන නීති වලට යටත්වීමට ඔවුන්ට සිදුවේ.

07දාට පෙර ඉහත රටවල සිට පිලිපීනයට ඇතුල් වන එරට ජාතිකයන් හටද මෙම තහනම අදාල නොවුන නමුත් ඔවුන්ට දින 14ක් නිරෝධායන මධ්‍යස්ථාන වල සිටීමත් පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීමත් අනිවාර්ය වේ.

යම් හෙයකින් ඉහත රටවල් 4න් පිලිපීනයට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුගේ පීසීආර් පරීක්ෂණය ධනාත්මක වී තිබුණහොත්, එම සංචාරකයා ගේ සාම්පල Genome Sequencing වලට භාජනය කරන බවත්, ඔවුන්ගේ සියලු ආශ්‍රිතයන් දින 14ක් පුරාවට නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයන් හට පසුගිය 27දා සිට පිලිපීනයට ඇතුළු වීම තහනම් කර තිබේ.

(උපුටා ගැනීම - පිලිපීන පුවත් ඒජන්සිය-ශ්‍රී ලංකා මිරර්)