ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුවත් කිරීමක්!
ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජතාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.
 
ඊශ්‍රායලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින් යවනු ලැබු ලාංකීකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල් රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයින් ගෙන් වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
 
අමාත්‍යවරයා මේ බව හෙළි කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
 
එහිදි තවදුරටත් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකීක ශ්‍රමිකයින් යැවිමට අවස්ථාවක් නොමැති බවයි. එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයින් යැවිම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදි ප්‍රකාශ කළා.
 

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වෙනත් රටවල් වල විවිධ වෘත්තීන් සඳහා ලාංකිකයන් යැවීමේ කාර්ය භාරය ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ මගින් පමණක් කිරිමට හැකි බව මෙහිදි අවධාරණය කෙරින. විදේස් රැකියා සඳහා යන පුද්ගලයන්ගෙන් විවිධ සේවා සඳහා යැයි පවසමින් ඒජන්සි කරුවන් මුදල් අය කරන බවත්,නමුත් එසේ මුදල් අය කළ හැක්කේ වෛද්‍ය පරීක්ෂණ වැනි සත්‍ය වශයෙන් මුදල් අය වන කටයුතු සඳහා පමණක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නේය