ලාංකිකයින්ට ‘දකුණු කොරියාවේ රැකියා‘ අහිමි වීමේ අවදානමක්

south-Korean-job

දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවී තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නිති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසක් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියානු රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

රට පමණක් නොව තමන් ද අනතුරේ දමමින් සිටින මෙම ශ්‍රමිකයන් වහාම මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් සභාපතිවරයා අදාළ ශ්‍රමිකයින්ගේ පවුල් වල සාමාජිකයින්ගෙන් ද ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා, ‘‘දකුණු කොරියාවේ නීත්‍යානුකුලව රැකිවල නිරතවි තම සේවා කාලය අවසන්ව, තවදුරටත් වලංගු විසා බලපත්‍ර නොමැතිව නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය විසින් මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට දන්වා සිටියා.

මේ වන විටත් 2000කට අධික ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසක් අනවසරයෙන් සිය රටේ රැදි සිටිමින් රැකියාවල නිරත වෙන බවයි දකුණු කොරියානු රජය කියන්නේ. මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව, ගිවිසුම් ගත කාලය තුල රැකියාවල නිරත වී, තම සේවා ගිවිසුම් කාලය ඉක්මවු පසු නීති විරෝධි අන්දමින් රැදි සිටින අයයි. ඔවුන් නීති විරෝධි අන්දමින් රැඳී සිටින කාලය තුළ, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව දකුණු කොරියානු රජය විසින් දන්වා තිබෙනවා. දකුණු කොරියානු රජයේ මෙම තීරණය දැනට දකුණු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයටද බලපානවා. මේ නිසා රටට ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විමේ අවදානමක් පැන නැගී තිබෙනවා.

නීති විරෝධි අන්දමින් රැඳී සිටින ශ්‍රමිකයන් ගෙන්වා නොගත හොත් ඔවුන් වෙනුවෙන් ඇපකර ගිවිසුම් අත්සන් කළ අයට සහ අදාළ ශ්‍රමිකයාට ද එරෙහිව වහාම නඩු පැවරීමට අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනනේ තමන් පමණක් නොව රටත් අනතුරේ නොදා වහාම ලංකාවට පැමිණෙන්න.

ඒ වගේම මම ඉතාම කාරුණිකව අදාළ පුද්ගලයින්ගෙන් පවුල්වලින් ද ඉල්ලන්නේ මේ අනීතික කටයුත්ත කරන ඔබේ පවුලේ සාමාජිකයාව වහාම මවුබිමට ගෙන්න ගන්න. එසේ නොවුණහොත් ඔබ රටට මහත් විනාශයක් කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් දහස් ගණනකගේ ජීවිත අදුරු කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා‘‘