කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ රැකියා බලාපොරොත්තු සුන්වෙයිද?

කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ රැකියා බලාපොරොත්තු සුන්වෙයිද?

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ කොරියානු රැකියා සඳහා පිටත් වීමට සුදුසුකම් ලබා සිටින තරුණයින් දහස් ගණනකගේ අවස්ථාව ආණ්ඩුව විසින් මේ දක්වා අහිමි කර තිබීම බරපතළ අසාධාරණ තත්වයක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ආණ්ඩුව විසින් එම අවස්ථාව අහිමි කර තිබීමෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන කොරියානු රැකියා කෝටාව වෙනත් රටවල් වෙත ලබා දීමේ අවධානමක්ද මතුව ඇතැයි ඔහු අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් වීඩියෝ පටයකින් ඊයේ (15) දිනයේ සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ ආණ්ඩුව ඉතා ඉක්මනින් මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් විය යුතු බවයි.

” තරඟ විභාග සමත් වී කොරියාවේ රැකියා සඳහා පිටත් වීමට සුදුසුකම් ලබා සිටින තරුණයින් 5000ක ගේ ගැටලුවට ආණ්ඩුව කඩිනමින් විසඳුම් ලබා දිය යුතුයි. අපේ රටට ලැබීය යුතු රැකියා කෝටාව වෙනත් රටවලට යෑමේ අවධානමක් තිබෙනවා. මේ තරුණයේ අපේක්ෂා භංගත්වයට පත්වෙලා. වෙනත් රැකියාවකට යන්න පුළුවන් කමක් නෑ. ජීවිත අතරමං කරන්නේ නැතිව, සුදුසුකම් ලබා සිටින තෝරාගත් පිරිසට එම අවස්ථාව ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුයි. කොරෝනා පිටින් දාල මේ අවස්ථාව අහිමි කිරීම අසාධාරණයක්. මේක විදේශ විනිමය වියදම් වෙන එකක් නෙවෙයි. විදේශ විනිමය ගේන්න හදන උත්සාහයක්. තමන්ගේ අතින් වියදම් කරගෙන නිරෝධායනය වෙලා ඒ අවස්තාවට පිටත් වෙන්න තරුණයින් සූදානම්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

(lankatruth)