ඊශ්‍රායලයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් රට වැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් රට වැසියන්ට විශේෂ දැනුම්දීමක්
ජනාකීර්ණ සංවෘත ස්ථානවල මුව ආවරණ පළඳින ලෙස ඊශ්‍රායලයේ සෞඛ්‍ය බලධාරීන් එරට වැසියන්ගෙන් යළි ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ඊශ්‍රායලය තුළ යළිත් කොරෝනා වෛරසයේ ව්‍යාප්ති අවදානමක් උද්ගත වීම හමුවේයි. ලොව සාර්ථකම එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ රටවල් අතර ඊශ්‍රායලය පෙරමුණේ පසුවුණා. ඒ අනුව සැලකිය යුතු කාලසීමාවකදී ඊශ්‍රායලයෙන් කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වූයේ නැහැ. 
 

කෙසේවෙතත්, ඉකුත් දින කිහිපයේදී ඊශ්‍රායලයෙන් දෛනිකව කොරෝනා ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වුණා. ඒ අනුව ඊශ්‍රායලය ද ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමේ අවදානමකට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ. පවතින අවදානම් තත්ත්වය හමුවේ කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇති විදේශිකයින් වෙනුවෙන් රට සම්පූර්ණයෙන් විවෘත කිරිමට මීට පෙර ගෙන තිබූ තීරණය ද මාසයකින් කල් දැමීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.