රට රස්සාවලින් එවන ඩොලර් මේ මාසයේ තවත් අඩුවෙලා

රට රස්සාවලින් එවන ඩොලර් මේ මාසයේ තවත් අඩුවෙලා

දැවැන්ත ණය බරකින් ගැලවී ගැනීමට වෙරදරන ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන විදෙස්ගත ශ්‍රමිකයන් විසින් 2021 වසර තුළ එවනු ලැබූ මුදල් ජූලි මාසය තුළදී තවත් අඩුවීම නිසා, එම මාසයේදී විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ලැබුන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 453.3 කට සීමා වී තිබේ.

මහ බැංකු මුලාශ්‍රයන්ට අනුව එය පෙර වසරේ ජූලි මස ලත් ඩොලර් මිලියන 702.1 ට සාපේක්ෂව ගත් කළ 35% ක දැවැන්ත අඩුවීමකි.

ජුනි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවට එවු මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 478 ක් වූ අතර මැයි මාසයේදී එම අගය ඩොලර් මිලියන 460 ක් විය.

පසුගිය වසරේ පළමු මාස පහේ මුළු ප්‍රේෂණ ලැබීම් වන ඩොලර් මිලියන 2,407 ට සාපේක්ෂව, 2021 වසරේ මැයි අවසානය වන විට මුළු ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,846, ක් වූ අතර, වර්ධන වේගය 18% ක් තරම් ඉහල අගයක් ගත්තේය.

නමුත් ජූනි මස සිදුවූ ප්‍රේෂණ ලැබීම් අඩු වීමත් සමඟ, 2021 වසරේ පළමු භාගය සම්පූර්ණ වන විට මුළු ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,324 ක් වූ අතර, 2020 වසරේ පළමු භාගයේ මුළු ලැබීම් වන 2,980ට සාපේක්ෂව එම වර්ධන වේගය 11.6% දක්වා අඩු විය.

තත්වය වඩාත් තීව්ර කරමින්, මේ වසරේ ජූලි මාසයේදී සිදු වූ මෙම පහත වැටීම හේතුවෙන්, පළමු මාස හතේ ලැබීම් වල එකතුව ඩොලර් මිලියන 3,777 ක් වූ අතර, පෙර වසරේ මෙම කාලපරිච්ඡේදයට අදාල මුළු එකතුව වූ 3,682 ට සාපේක්ෂව මෙම වසරේ වර්ධනය 2.6% ක් දක්වා පහත වැටී තිබේ.

විදෙස්ගත සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2019 දී, 2018 වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 6.7 දක්වා 4.4% කින් පහත වැටීම හා සසඳන විට 2020 දී සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 7.1 දක්වා 5.8% කින් වැඩි විය.

රජය අපේක්‍ෂා කළේ 2021 වසරේදී ප්‍රේෂණ ඩොලර් බිලියන 8 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

බොහෝ ජාත්‍යන්තර දේශසීමාවන් වසා දැමීම හේතුවෙන් සංක්‍රමණික සේවකයන්ගේ රැඳී සිටීමේ කාලය වැඩි වීම, ලංකාවට මුදල් එවීම සඳහා විධිමත් ක්‍රමවේදයන් භාවිතය ඉහළ යාම සහ සිය පවුල් වලට වසංගත තත්වය නිසා මුහුණ දීමට සිදුවූ පීඩාවන් හේතුවෙන්, සංක්‍රමණික සේවකයන් විසින් ලංකාව වෙත එවන මුදල් ප්‍රමාණය වැඩි වීම 2020 දී සිදු වූ මෙම වර්ධනයට හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ සිට මෙම තත්වය නැති වූයේ, විධිමත් බැංකු පද්ධතිය සහ නිල නොවන වෙළෙඳපොල මඟින් ලබා දෙන විනිමය අනුපාත අතර මතු වූ තියුණු වෙනස නිසා, සංක්‍රමණික සේවකයන් විසින් මුදල් මාරු කිරීමේදී හොර මාර්ගය තෝරා ගැනීමට පෙළඹවීම හේතුවෙනි.

කෙසේ වෙතත් ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සිටින බොහෝ රටවල් වල එන්නත් ලබා දීම නිසා, කොවිඩ් වසංගතයට නිසා ජනිතව පැවැති අවිනිශ්චිතතාවය අඩු වී යාම ද මෙම මුදල් ලැබීම් පහළ යාමට දායකත්වය ලබා දී ඇති බවටද ආර්ථික විශ්ලේෂකයන් අදහස් දක්වා තිබේ.
(ද ලීඩර්)