විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා දිගටම

foreign-ministry

කොවිඩ්-19 වසංගතය අතරතුර දී විදේශ අමාත්‍යාංශය විසින් කොන්සියුලර් සහාය ලබාදීම කරගෙන යන බව විදේශ අමාත්‍යංශය නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  ප්‍රධාන වශයෙන් රැකියා නියුක්තිය සහ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ගේ සංචාර සඳහා පහසුකම් සැලසීම පිණිස, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සහ විදේශීය ශ්‍රී ලාංකික අංශය, 2017 දී ක්‍රියාත්මක කරන ලද විද්යුත් ලේඛන සහතික කිරීමේ ක්‍රමය (e-DAS) හරහා විවිධ ලේඛන සත්‍යාපනය කරයි.

කොවිඩ්-19 වසංගතයට පෙර පැවති පරිසරය තුළ, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවා අපේක්‍ෂකයින් 1,000 කට අධික සංඛ්‍යාවක් දිනපතා මෙම පද්ධතිය හරහා සහාය ලබා ගත්හ. මෙම විද්යුත් ලේඛන සත්‍යාපනය (e-DAS) සිදු කරනු ලබන්නේ කඩිනම් ක්‍රියාවලියක් සමඟ සේවාව වැඩි දියුණු කිරීම සහ විධිමත් කිරීම අරමුණු කරගත්, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩල, ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සහ අනෙකුත් රජයේ ආයතන සමඟ තත්‍ය කාලීනව සම්බන්ධ වී ඇති, නවීකරණය කරන ලද ඩිජිටල් වේදිකාවක් හරහාය.

ලේඛන සත්‍යාපනය කිරීමට අමතරව, ප්‍රතිලාභීන්ට වන්දි ගෙවීම, නොගෙවූ වැටුප් සහ සමාජ ආරක්‍ෂක හිමිකම් සඳහා පහසුකම් සැලසීම වැනි වෙනත් සේවාවන්; ශ්‍රී ලාංකිකයින්ගේ සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශ ගමන් බලපත්‍රලාභීන්ගේ මෘත දේහයන් ආපසු ගෙන්වා ගැනීම; විදේශගතව අතරමංව සිටින සහ අසරණ වූ ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සහ ධීවර යාත්‍රා සහ විදේශවල අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා මෙම අංශය මඟින් පහසුකම් සලසනු ලැබේ. එසේම, අමාත්‍යාංශය යටතේ කොන්සියුලර් සේවා විමධ්‍යගත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද පිහිටුවා ඇත.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන්, කොවිඩ්-19 සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා පනවා ඇති මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සීමා කිරීම් පිළිපදිමින්, අමාත්‍යාංශයේ නිලධාරීන් සංඛ්‍යාව සීමා කිරීමට මෙන්ම මහජන පැමිණීම් සීමා කිරීමට ද අමාත්‍යාංශයට සිදු විය. පූර්වාරක්‍ෂක පියවරයන් ලෙස යම් යම් සීමා කිරීම් මධ්‍යයේ වුවද, ඔවුන්ගේ හදිසි අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, සීමිත කාර්ය මණ්ඩලයක් හා සම්පත් ප්‍රමාණයක් සමඟ කොන්සියුලර් කටයුතු සහ විදේශීය ශ්‍රී ලාංකික අංශය සිය සේවාවන් මහජනතාව වෙත අඛණ්ඩව සපයයි. එබැවින්, අවශ්‍යතා ඇති ජනතාවට කොන්සියුලර් සේවා ලබා ගැනීම සඳහා සාමාන්‍ය වේලාවට වඩා වැඩි වේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදු වී තිබේ.

හැකි ඉක්මනින් සාමාන්‍ය පරිදි සේවා සැපයීම ආරම්භ කිරීමට කොන්සියුලර් කටයුතු සහ විදේශීය ශ්‍රී ලාංකික අංශය අපේක්ෂා කරයි.