රට සල්ලි එවන විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ ලැබෙයි -මෙන්න විස්තර

රට සල්ලි එවන විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ ලැබෙයි -මෙන්න විස්තර
විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් සඳහා ඔවුන් විසින් මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය වටිනාකම මත පදනම් වූ ප්‍රතිලාභ ක්‍රමයක් ස්ථාපිත කෙරේ.
 
විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට සිදු කරන ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන වැදගත්ම ප්‍රවාහයක් වි ඇති අතර, පසුගිය වසර 5 තුළදී එහි වාර්ෂික සාමාන්‍ය වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 7 ඉක්මවයි. රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත දැක්වු විදේශීය ණය නොවන ආකාරයේ විදේශ විනිමය ගලා එ්ම් වල වැදගත්කම හා ස්ථාවරභාවය සැළකිල්ලට ගනිමින් විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවට ද එකී ප්‍රේෂණ වලින් උපරිම ප්‍රතිලාභ ලඟා කර ගැනිම තහවුරු කරනු වස් වැදගත් පියවර රැසක් ගනිමින් සිටියි.
 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, දේශීය බැංකු අංශය සහ අනෙකුත් සියලුම අදාළ පාර්ශවකරුවන් සමඟ එක්වී විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ සුභසිද්ධිය සඳහා වන නව දිරිගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය මුලික පියවර ගනිමින් සිටියි. ඉහත කී දිරි ගැන්වීමේ ක්‍රමවේදයට විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් සඳහා වන විශ්‍රාම වැටුපක් / විශ්‍රාම ප්‍රතිලාභ හා හදිසි අනතුරු / ජීවිත රක්ෂණ ප්‍රතිලාභ මෙන්ම අඩු පොලී නිවාස ණය හා ස්වයං රැකියා සඳහා වන ණය ලබා දීම ඇතුළු බැංකු පහසුකම් සහ වඩා වැඩි අගයෙන් යුත් තීරු බදු සහන ලබා දීම යනාදී අංගයන් ඇතුලත් වේ. මෙම දිරි ගැන්වීමේ ක්‍රමවේදයේ අපේක්ෂිත ප්‍රතිලාභ මෙරටට අත්කර ගැනීම තහවුරු කරනු වස් බැංකු මාර්ගය ද ඇතුලත් ඕනෑම විධිමත් විදේශ මුදල් හුවමාරු ක්‍රමවේදයක් මගින් ශ්‍රී ලංකාවට තම විදේශ විනිමය ඉ‍පැයීම් ප්‍රේෂණය කරණු ලබන විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් සඳහා පමණක් අදාළ දිරි ගැන්වීම් ලබා දීමට අපේක්ෂිතය. තවද, එම දිරි ගැන්වීමේ ප්‍රතිලාභ වල මුල්‍ය වටිනාකම, අදාළ ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරනු ලැබු විදේශ විනිමය ප්‍රමාණයට අනුපාතික වනු ඇත. ඒ අනුව, ඉහත දක්වන ලද දිරිගැන්වීමේ ක්‍රමවේදයට අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ රාජ්‍ය ආයතන හා බැංකු අංශය සමඟ එක්ව යථාකාලයේදී මහජනතාවට දැනුම් දෙනු ඇත.
 
යෝජිත ප්‍රතිලාභ අත්පත් කරගනු වස්, විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් හට ඔවුන්ගේ විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී විධිමත් බැංකු ක්‍රමවේදය ද අතුළු විධිමත් මුල්‍ය හුවමාරු ක්‍රමවේදයක් භාවිතා කරන ලෙසටත් එකී මුදල් තමන්ගේ නමින් හෝ තමන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකට ප්‍රේෂණය කරන ලෙසටත් ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තකයන්ගෙන් ඉල්ලා සිටින අතර, එය ඉහත සඳහන් ප්‍රතිලාභ නිසිලෙස ගණනය කිරිම සහ ඔවුනට ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වේ.