පකිස්ථානයේ සේවය කළ ලාංකිකයෙකු අමානුෂීය ලෙස ඝාතනය වෙයි

පකිස්ථානයේ සේවය කළ ලාංකිකයෙකු අමානුෂීය ලෙස ඝාතනය වෙයි
පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඇති පුවතක් වාර්තා වේ.
 
එලෙස ඝාතනය කර අනතුරුව මාර්ගයට රැගෙනවිත් ඇති මළ සිරුරට ඔවුන් විසින් ගිනිතබා ඇති අතර එම අවස්ථා විශාල පිරිසක් අවට එක්රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
මියගොස් ඇත්තේ 2010 වසරේ සිට අදාළ කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි අයෙකු බව වාර්තා වේ.
 
කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම ඝාතනයට හේතු වී ඇති බව විදෙස් වාර්තාවල දැක්විණි.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ දීම මෙරට විදේශ අමාත්‍යාංශය ඉස්ලාමාබාද් නුවර පිහිටි තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබුණි.
 

මීට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශනය කර යුක්තිය සහතික කිරීමට පාකිස්තානය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.