ලියාපදිංචි විදේශ රැකියා ලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවයි

ලියාපදිංචි විදේශ රැකියා ලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවයි

අනපේක්ෂිත අයුරින් මුළු ලොවම ග්‍රහණයට ගත් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රි ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වූ විදේශ රැකියා ක්ෂේත්‍රය ඉතා බරපතල ලෙස බිඳ වැටුණි. සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 2 ඉක්ම වූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් විදේශ ගතවන අතර, 2020 වසරේ එය 53,000 දක්වා පහත වැටුණි. රටවල් ලොක් ඩවුන් කිරීම, ගුවන් සමාගම් විසින් ගුවන් ගමන් නතර කිරීම හා සීමා කිරීම, සංචරණ සීමා පැනවීම, රැකියා අවස්ථා සීමාවීම, නව රැකියා අවස්ථා ඇති නොවීම ආදී හේතූන් මෙම බිඳ වැටීමට හේතුවිය.

නමුත් කොවිඩ් වසංගත තත්ත්වය නිමා වෙමින් ලෝකය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භවීමත් සමග නැවත විදේශ රැකියා ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම සදහා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම යටතේ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවලට තිබූ ඇතැම් ගැටළු නිරාකරණය කරමින් පහසුකම් සැලසීම, දූත මණ්ඩල කාර්යාලවල පැවති ගැටළු නිරාකරණය කරමින් එහි සේවා කඩිනමින් පුළුල් කරමින් ගත් ක්‍රියා මාර්ග රාශියක් හේතුවෙන් 2021 වසරේ ලක්ෂයක් ශ්‍රමිකයින් විදේශ ගත කිරීමේ ඉලක්කය,  දෙසැම්බර් මස මුල් සතිය වන විටම ඉක්මවා යාමට හැකි විය. ඒ සඳහා තරගකාරි විදේශ රැකියා වෙළඳපොලේ පවතින නව ප්‍රවණතා හඳුනා ගනිමින්, එන්නත්කරණයට ලක්කළ ශ්‍රමිකයින් රැකියා වෙළඳපොලට සූදානම් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන්, විදේශ රැකියා අපේක්ෂිතයින්ට තමා විදේශ ගතවන රටට අදාළ කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සඳහා ගත් ක්‍රියාමාර්ගය මේ සඳහා විශාල උත්තේජයක් සැපයීම නිසා විදේශ රැකියා සඳහා පිටත්ව යාම වේගවත් විය.

තවද ශ්‍රමිකයින් රැකියා සදහා විදේශ ගතකිරීමේදී බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන් සහ විදේශ රැකියාලාභීන් මුහුණ දෙන ගැටළු අවම කරමින් කඩිනමින් මාර්ගගත පුහුණු පාඨමාලා ආරම්භ කරමින් සහ කඩිනමින් විදේශ ගතවීමට අවශ්‍ය පහසුකම් සලසාලමින් කටයුතු කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකිවිය. ඉදිරි වසරේදී මෙය තවදුරටත් වර්ධනය කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරයි.