එක්සත් අරාබි එමීරයේ වැඩ කරන සේවකයින්ට නව සති අන්තයක්

එක්සත් අරාබි එමීරයේ වැඩ කරන සේවකයින්ට නව සති අන්තයක්

වැඩ කරන සතිය දින 4 1/2 බවට පත් කළ පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වී තිබෙන බවය විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සාමාන්‍යයෙන්  ලොව පුරා සම්මත වැඩ කරන සතිය ලෙස සැලකෙන්නේ දින පහකි. නමුත් එමීරයේ මෙම නව තීරණයත් සමග එළඹෙන 2022 වසරේ ජනවාරි මස පළමුවෙනි දින සිට නව සති අන්තය  ලෙස සිකුරාදා වරුවක් ,සෙනසුරාදා සහ ඉරිදා  ලෙස සැලකෙනු ලැබේ.

ඒ අනුව 2022 ජනවාරි පළමු වන දා සිට එක්සත් අරාබි එමිර් රාජ්‍යය සාමාන්‍ය රාජකාරි වේලාවන් සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 7.30  සිට පස්වරු 03.30  දක්වා වන අතර සිකුරාදා දිනවල එය පැය හතරකට සීමා වනු ඇත. 

කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සහ එරට ජීවත්වෙන ජනතාවගේ ජීවන රටාව සමබරව පවත්වාගෙන යාමේ අරමුණින්  නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් එහි එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස නව සති අන්තයක් හඳුන්වා දීමට කටයුතු කර බවත් emirates බලධාරීන් වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

තවද මෙම වෙනස්කිරීම  "ආර්ථික සහ ව්‍යාපාරික අංශ හරහා ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ ගෝලීය වර්ධනයන් සමඟ වේගයෙන් ගමන් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැක්මට අනුකූල වේ" යනුවෙන් අබුඩාබි රජයේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

සේවකයින්ට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පැය අටක වැඩ දිනයක් සම්පූර්ණ කළ යුතු නමුත් සිකුරාදා පැය 4.5 ක් පමණක් වැඩ කිරීමට අපේක්ෂා කෙරෙන අතර රජයේ සේවකයන්ට සිකුරාදා දිනවල “නම්‍යශීලී වැඩ හෝ නිවසේ සිට වැඩ කිරීමේ විකල්ප” තෝරා ගැනීමට අවසර දෙනු ලැබේ.