ලාංකික පුහුණු ශ්‍රමිකයින් ගැන ජපන් රජය උනන්දුවෙන්

ලාංකික පුහුණු ශ්‍රමිකයින් ගැන ජපන් රජය උනන්දුවෙන්
ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති මිසිකොෂි හෙදකි මහතා පවසයි.
 
ඒ මහතා නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාර ගත් අතර අද (09) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.
 
අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවූ බව සඳහන්ය.
 
පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹ තිබේ.
 
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන පරිදි නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ වැඩසටහන (SSWRP) යටතේ ශ්‍රී ලංකාවෙන් ජපානයට ක්ෂේත්‍ර 14ක් යටතේ සේවකයින් බඳවා ගැනීමට අවසර දී ඇත.
 
ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් තුළ උනන්දුව වැඩි වෙමින් පවතින බවද මෙහිදී අවධාරණය කෙරිණි.