ප්‍රියන්ත ඝාතනයේ තවත් සැකකරුවන් 8ක් රිමාන්ඩ්

ප්‍රියන්ත ඝාතනයේ තවත් සැකකරුවන් 8ක් රිමාන්ඩ්
පකිස්ථානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක්කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 08 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
සිද්ධිය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගත් මොවුන් ඊයේ පන්ජාබ් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
 
එහිදී ඔවුන් ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
 
සිද්ධියට අදාළව හඳුනාගත් ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 26 දෙනෙකු පසුගිය 6 වැනිදා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි..
 
සීසීටීවී දර්ශන හා ජංගම දුරකතන දත්ත උපයෝගී කරගනිමින් සිදුකළ විමර්ශනවලදී ප්‍රියන්ත දියවඩන මහතා ඝාතන සිද්ධියට අදාළව එම  කර්මාන්තශාලාවේ සේවකයින් 345 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
 
සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීමට තීරණය කර ඇති බව සියල්කොට් දිස්ත්‍රික් නීතීඥ සංගමය විසින් ද නිවේදනය කර තිබුණි.
 
මේ අතර රාජ්කෝ කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතන සිද්ධිය පිළිබඳව සිය සංවේගය පළ කර ඇති සියල්කොට් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ එම සිදුවීම දේශීය කර්මාන්තයට එල්ලවූ දරුණු පහරක් බවය.
 
මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයා විමසා සිටි අතර ඊට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු දී තිබේ .
 
කම්කරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ විදෙස් ශ්‍රමිකයින් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය තවත් මාස තුනකින් පමණ සකස් කිරිමට හැකි වනු ඇති බවය.