විගමණික ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන ජනවාරි සිට ආරම්භ කරනවා

nimal-siripala-de-silva

කොරෝනා වසංගතය නිසා  අපේ රට ආර්ථික වශයෙන් බරපතළ ලෙස කඩා වැටීමකට ලක් වෙද්දී,අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ලබා දුන්නේ අපේ රට විරුවන්.එම නිසා මේ රටවිරුවන්ගේ වටිනාකම එදාට වඩා අද වැඩියි. රටවිරුවන් අපේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට  ඉටුකළ මහා ජාතික මෙහෙවරට අපි ජාතියක් හැටියට ඔවුන් පිදිය  යුතුයි.ඔවුන්ට ගරු කළ යුතුයි. එම නිසා ඔවුන්ට දක්වන උපහාරයක් හැටියට විගමණික ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට  කටයුතු යොදා ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එසේම ඔවුන්ගේ ජීවිතවලට සහ ඔවුන්ගේ පවුල්වලට අපට ලබාදිය හැකි උපරිම සුභසාධන වරප්‍රසාද ලබාදිය යුතුයි.ඔවුන්ට විදේශ රටවලදී සාධාරණ වැටුපක් හා උපරිම ආරක්ෂාව  ලබාදීමට   අපි කටයුතු කළ යුතුයි.

එසේම අපේ රටේ ගෞරවනීය කාන්තාවන් විදේශ රටවල ගෘහ සේවිකාවන් ලෙස  යැවීම නතර කර, ඒ වෙනුවට පුහුණු  ගෘහස්ථ  වෘත්තික ශ්‍රමිකයන්, සාත්තු සේවය,වැඩිහිටි රැකවල්කරුවන්,පුහුණු තාක්ෂණ ශිල්පීන් ලෙස   ඔවුන් විදේශ රටවල සේවයට යැවීම  දිරිගැන්විය යුතුය. ඒ අනුව ඉදිරි වසර  තුන හතරක  දී ගෘහසේවිකාවන් ලෙස අපේ මව්වරුන් තරුණියන් විදේශ සේවයට යැවීම නතර කළ යුතුයි යන්න  මගේ මතයයි.ඉන්දියාව මේ වන විටත් එය සිදුකර තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ ඌව පළාතේ  පහේ ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්  රටවිරුන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්ය.

හාලිඇල  විදෙස් සේවා නියුක්ති කාර්යංශ  ශ්‍රවණාගාරයේ දී පසුගියදා (28 )මෙම උත්සවය පැවැත් වුණි.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  1996  දි ආරම්භ කළ මෙම විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා වන ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් මේ වන විට දරුවන් 44940 ට රුපියල් මිලියන 900 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත. මෙහි දී පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 28 දෙනකුට රුපියල් 20,000 බැගින් ද ,අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 65 කුට රුපියල් 25000 බැගින් ද අ.පො.ස උසස් පෙළ සමත් දරුවන් හය දෙනකුට රුපියල් 35,000 බැගින් ද මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණ.

අද පිලිපීනය , නේපාලය වැනි රටවල ඔවුන්ගේ ප්‍රධාන විදේශ විනිමය ඉපයීමේ මාධ්‍ය බවට පත්ව ඇත්තේ විගමණික ශ්‍රමිකයන්ය.අපේ රටෙත් පුහුණු ශ්‍රමිකයන්ට ලෝකයේ  බොහෝ වෘත්තීන්හි  රැකියා අවස්ථා තිබෙනවා. මේ වන විට අප රටට ලැබී ඇති විදේශ රැකියා අවස්ථා පිළිබඳ අපේ රටේ ජනතාවගේ දැනුවත්වීම ඉතාම අඩු මට්ටමකයි පවතින්නේ .එම නිසා කාර්යාංශයේ නිලධාරීන් ඈත ගම්මානවලට ගොස් තරුණ තරුණියන් සෘජුවම මුණගැසී  ජපානය ඊශ්‍රායලය වැනි රටවල ඇති වෘත්තීන් පිළිබඳව  තරුණ තරුණියන් දැනුවත් කළ යුතුයි. එම රැකියාවලට අදාල වෘත්තීය හා භාෂා  පුහුණුවීම්වලට එම තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීම  විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිලධාරීන්ගේ වගකීමක් හා යුතුකමක්.එම නිසා එම නිලධාරීන් උනන්දුවක් කැපවීමක් කර අවම වශයෙන් එක් නිලධාරියෙකු දහ දෙනෙකුවත් විදේශ රැකියා සදහා සඳහා යොමු කිරීමට කටයුතු කළ යුතු යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

එසේම විදේශ රටවල රැකියා සඳහා යන අපේ අයට පූර්ණ ආරක්ෂාව සහ රැකවරණය ලබාදීමට අපි කටයුතු කළ යුතුයි.මෙම විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමයක්  සකස් කර ඇති බවත්,එසේම මෙම විගමණික ශ්‍රමිකයන් සඳහා විශේෂ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් මේ වන විට  සකස් කරමින් පවතින බව ද එය ලබන ජනවාරි මාසයේ සිට  ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට විදේශ නියුක්ති කාර්යාංශ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා ,හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී අජිත් ලියනගේ මහතා  හාලිඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් ජයසිරි මහතා ද කාර්යාංශයේ නිලධාරීහු ද  සහභාගි වූහ.