ඩුබායි රැකියාවට ගොස් රෝගි වූ ප්‍රසාද්ට ආපහු එන්නට වියදම් විදේශ සේවා කාර්යාංශයෙන් දරයි

slbfe

ඩුබායි රාජ්‍යයේ ආයතනයක පොදු සහායක ලෙස රැකියාවක් සඳහා 2019 වර්ෂයේදී ගිය පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් අබේරත්න නම් ශ්‍රමිකයෙකුට එහිදී ඇතිවූ ස්නායු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් 2021. 08. 17 දින රෝහල් ගතවී ඇති අතර, ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව යළි ශ්‍රි ලංකාවට පිටත් කිරිමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි. එහෙත් ඔහු ස්නායු ආබාධයෙන් පසුවීම නිසා ඔහුගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා හෙදියන් දෙදෙනෙකුද ගුවන් යානයේ එවීමට රෝහල් බලධාරීන් නිර්දේශ කර තිබිණි. ඒ අනුව ගුවන් ටිකට්පත් සඳහා රුපියල් ලක්ෂ 8ට වැඩි මුදලක් වැය වන බව ප්‍රකාශවීම හේතුවෙන් එම මුදල සපයා ගැනීමට ඔහු ඩුබායි හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශය වෙත ඉල්ලීමක් කර තිබිණි.

නමුත් අදාළ ශ්‍රමිකයාගේ වසර 2ක ලියාපදිංචි කාලය 2021 පෙබරවාරි 22 න් අවසන් වි ඇතත් ඔහු එය අලුත් කරවාගෙන නොතිබීම නිසා රක්ෂණයෙන් වන්දි ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. කෙසේ වෙතත්, ඩුබායි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ක්‍රිෂෝලි පෙරේරා මහත්මියගේ මැදිහත්විම මත, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් පරිදි, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ අනුමැතිය මත කම්කරු සුභසාධන අරමුදල මගින්, ගුවන් ටිකට්පත් සඳහා වැය වන රුපියල් ලක්ෂ 8ක (AED 15000) මුදල ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව ප්‍රසාද් අබේරත්න මහතා සමග හෙදියන් දෙදෙනෙකු පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

රැකියාවක් සදහා විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙසත්, වසර දෙකක එම ලියාපදිංචි කාලය ඉක්මවා තවදුරටත් සේවයේ යෙදී සිටින්නේ නම්, ලියාපදිංචි කාලය අලුත්කරවා ගන්නා ලෙසත් කාර්යාංශය විගමණික ප්‍රජාවට දන්වා සිටියි.