සංක්‍රමණිකයින් වෙනුවෙන් සාධනීය පියවර රැසක් ගත්තා - වි.සේ.නි.කා අතිරේක සාමාන්‍යාධිකාරී

සංක්‍රමණිකයින් වෙනුවෙන් සාධනීය පියවර රැසක් ගත්තා - වි.සේ.නි.කා අතිරේක සාමාන්‍යාධිකාරී
කොවිඩ් වසංගතය පැවතියදී වුවත් 2020 වසරේ සංක්‍රමණික ප්‍රජාවගෙන් බිලියන 7.1ක් ප්‍රේෂණ ලෙස මෙරටට ලැබුණු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර) මංගල රංදෙණිය මහතා පවසයි.
 
එම වසර තුළ 53,000 ක පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත්, තත්ත්වය අපේක්ෂා කළ තරමේම බරපතළ බවක් පෙන්නුම් නොකරන බවත් හෙතෙම කියා සිටියේ පසුගියදා ජායික් හිල්ටන් හෝටලයේ පැවති සංක්‍රමණික ප්‍රජාවගේ ගැටළු හඳුනා ගැනීම හා පිළියම් යෙදීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
සංක්‍රමණික ප්‍රජාවගේ ගැටළු පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමුව ඇති බවත්, පවත්නා ගැටළු සහගත තත්ත්වයන් මධ්‍යයේ වුවද, රජයද හැකි උපරිම දායකත්වයෙන් මෙම ගැටළු විසඳාලීම සඳහා පුමුඛත්වය ලබාදී කටයුතු කළ බවත් ඔහු අවධාරණය කළේය.
 
 විදේශයන්හිදී සංක්‍රමණික ප්‍රජාව තුළින් ලාංකික කොවිඩ් මරණ 143ක් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් වෙනුවෙන් මෙතෙක් ආපදාවකදී ලබාදුන් වන්දි මුදල වන ලක්ෂ 5ක මුදල වෙනුවට මෙවර ලක්ෂ 6 බැගින් ලබාදීමට රජය විසින් ක්‍රියා කළ බවද රංදෙණිය මහතා සිහිපත් කළේය.
 
එමෙන්ම එම මරණවලට අදාළව ආගමික කටයුතු සඳහා රු.30,000 ක සිට 40,000ක් දක්වා ප්‍රදානයන් සිදුකළ බවත්, ඩොලර් 10,000ක් ප්‍රමාණවත් නොවන තැන්වලට තවත් අතිරේක 5000ක් ලබාදෙන්නට කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය, 'ජාතික කොවිඩ් මර්දන බලකාය' නියෝජනය කරමින් එහි සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළ බවත්, එහිදී සංක්‍රමණික ප්‍රජාව ගෙන්වා ගැනීමට උපරිමයෙන් ක්‍රියා කළ බවත්, 75,000ක පිරිසකට නිරෝධායනය නොමිලේ ලබාදෙමින් ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත් හෙතෙම අවධාරණය කළේය.
 
රෝගීන් වර්ධනයවීමත්, ගුවන් ගමන් සීමාවීමත් නිසා යම් යම්  ප්‍රමාදයන් සිදුවුවද, තානාපති කාර්යාල හරහා ගෙන්වා ගැනීමේදී තමන් නිරෝධායනය වන්නේ නොමිලේද, මුදල් ගෙවාද යන්න සටහන් කළ යුතු ෆෝරමයක් ඔවුන්ට ලබාදුන් බවත්, එහිදී ඇතැමුන් එහිදී 'මුදල් ගෙවා' නිරෝධායනය වෙන්නට කැමති බව දන්වා ලංකාවට පැමිණ, මෙහිදී 'නොමිලේ නිරෝධායනය' වීමට අවශ්‍ය බවත්, මුදල් ගෙවන්නට නොමැති බවත් දැන්වූ අවස්ථාවන්හිදී ආකූල ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය වූ බවත් රංදෙණිය මහතා සිහිපත් කළේය.
 
2021 අප්‍රෙල් වන විට ගුවන්තොටුපළ නැවත විවෘත වීමෙන් පසු පී.සී.ආර් කළද, නොකළද ලංකාවට ඇතුළුවෙන්නට ලාංකික සංක්‍රමණිකයින්ට අවස්ථාව සැලසුණු බවත්, යළි විදේශ ගත වන්නේ නම් ඊට අදාළ එන්නත්කරණය හා අනෙකුත් පහසුකම්ද, එසේ නොවන්නේ නම් ස්වයං රැකියා පුහුණු ආදියට යොමු කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් රංදෙණිය මහතා සඳහන් කළේය.
 
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරී, ව්‍යවසාය හා කුඩා කර්මාන්ත වැනි නිලධාරීන් හරහා සංක්‍රමණික පවුල්වල ගැටළු හඳුනා පිළියම් යෙදීමටත්, ස්වයං රැකියා, විවිධ පුහුණු අවස්ථා සලසාදෙමින් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනයට පියවර ගෙන ඇති බවත් ඔහු පවසා සිටියේය.
 
2021 වසරේ මේවන විට එක්ලක්ෂ නවදහස් හැත්තෑපහක පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත්, මෙම දෙසැම්බර් 31 වන විට එය එක්ලක්ෂ විසි දහසක් පමණ වනු ඇතැයි අනුමාන කරන බවත්, ඉදිරියේදී මෙලෙස විදෙස් ගත වන අයට නිවසේ සිටම ඒ් සඳහා වන ලිපිගොනු බාරදීම වැනි කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට පහසුකම් සැලසීමට සැලසුම් සකස් කරමින් පවතින බවද රංදෙණිය මහතා පෙන්වාදුන්නේය.