කුවේට් හි සිටින සිරියානි චන්ද්‍රලතා පිළිබඳ විදේශ අමාතයංශයේ  අවධානය

කුවේට් හි සිටින සිරියානි චන්ද්‍රලතා පිළිබඳ විදේශ අමාතයංශයේ  අවධානය

ශ්‍රී ලාංකිකයෙකු වන ක්‍රිෂ්ණන් සිරියානි චන්ද්‍රලතා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන වීඩියෝ පට පිළිබඳව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් අනතුරුව, 2021 දෙසැම්බර් 21 වැනි දින කුවේට් පොලිස් බලධාරීන් වෙත පැමිණිල්ලක් යොමු කෙරුණු අතර, චන්ද්‍රලතා මහත්මියගේ තත්ත්වය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඇය සිටින ස්ථානය සොයා ගැනීමට ඔවුන්ගේ සහය පතන ලදී.

කුවේට් පොලීසියේ සහය ඇතිව තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් චන්ද්‍රලතා මහත්මිය ඇයගේ සේවා ස්ථානයේ දී සොයා ගනු ලැබූ අතර, 2021 දෙසැම්බර් 22 වැනි දින ඇය තානාපති කාර්යාලය වෙත රැගෙන එන ලදී.

චන්ද්‍රලතා මහත්මියගේ වත්මන් සේවායෝජකයා ඇයගේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද කරන බැවින්, නැවත මෙරටට පැමිණීමේ අරමුණින් තම දරුවන්ට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව මේ පිළිබඳව විමසීමේ දී තහවුරු විය.

තවද, තමන්ට නියමිත වේලාවට වැටුප් ගෙවා ඇති බවත්, සේවායෝජකයාගෙන් හෝ කිසිවකුගෙන් කිසිදු ආකාරයක හිරිහැරයක් හෝ තර්ජනයක් එල්ල නොවූ බවත් ඇය තහවුරු කළා ය.

කුවේට් බලධාරීන් මෙම විමර්ශනය අවසන් කළ පසුව, චන්ද්‍රලතා මහත්මියට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාලය මගින් පහසුකම් සැලසෙනු ඇත.