විදෙස්ගත ලාංකිකයින්ට රජයෙන් අතිරේක දීමනාවක්!

විදෙස්ගත ලාංකිකයින්ට රජයෙන් අතිරේක දීමනාවක්!
විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන හෝ බැංකු හරහා ශ්‍රී ලංකාවට තම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී දැනට එකී ආයතනවලට ගෙවනු ලබන ගාස්තු නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර ඇත.
 
ඒ අනුව, ඉදිරියේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකි වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
 
මේ සම්බන්ධයෙන් වන, ආරම්භක දිනය ද ඇතුළු, මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතය.
 
මෙ අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබාදෙන දිරිදීමනා යෝජනා ක්‍රමය තවදුරටත් 2022.01.31 දක්වා අඛණ්ඩව ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
 
ඒ දැනට ලබාදෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 2ක් වන දිරිදීමනාවට අමතරව මෙරටට ප්‍රේෂණය කර ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා ලබාදෙන අමෙරිකානු ඩොලරයකට රුපියල් 8ක් වන දිරිදීමනාවය.
 
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි.
 
එම මුදල් බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණය කළ යුතුය.
 
2021 දෙසැම්බර් මස මේ දක්වා විදේශීය ප්‍රේෂණවල පෙන්නුම් කරනු ලැබූ හිතකර වර්ධනයට ප්‍රතිචාරයන් වශයෙන්, රුපියල් 10.00 ක් වූ මෙම අතිරේක දිරි දීමනාව ඉහත දැක්වූ පරිදි දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද මහ බැංකුව පවසයි.