නීති විරෝධීව කාන්තාවක් ගෘහ සේවයට යැවූ තැරුව්කරු අත්අඩංගුවට

නීති විරෝධීව කාන්තාවක් ගෘහ සේවයට යැවූ තැරුව්කරු අත්අඩංගුවට

මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යවා ඇති අතර, ඇය සේවා ස්ථානයේ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු පහර දී ගොඩනැගිල්ලේ දෙවන මහලින් බිමට තල්ලු කර ඇත.

මෙම කාන්තාව එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු එහි සේවය කරන “සාමා” නැමැති කාන්තාවක් ඇයට නැවත එම නිවසේ සේවයට යන ලෙස බල කරමින් පහර දී ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙවන මහලින් බිමට තල්ලු කර ඇත. බිම ඇඳ වැටීමෙන් ඇයගේ අත්වල හා පාදවල අස්ථි බිඳී ගොස් ඇත. ඇය මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, ආබාධිත තත්ත්වයේ පසුවේ.

මේ පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහනුවර පළාත් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබදව ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ විමර්ශන අංශයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව මෙම කාන්තාව නීති විරෝධි අයුරින් විදේශ ගතකළ තැරැව්කරු වන ගම්පොල ප්‍රදේශයේ නෆීර් මසාහීර් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.5000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හරින ලදී.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී සරත් විමලවීර, නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී කපිල කරුණාරත්න හා නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී ඉදුනිල් පුෂ්පකුමාර යන මහත්වරුන් විමර්ශනය කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.