කටුනායක ගුවන්තොට යුද පිටියක් වෙයි

කටුනායක ගුවන්තොට යුද පිටියක් වෙයි

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් රටට පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු පැනයාමට උත්සාහා ගනිද්දී , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා  අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී  මෙම විදේශිකයා , ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව ගිය බව  ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීහු එක්ව ලුහුබැඳ  ඔහු අත්අඩංගුවට ගත්හ.

මෙම විදේශිකයා අද (10)  දින අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුවට පැමිණ තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමට සූදානම්වී තිබේ.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර  තිබේ .

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කරද්දි  චිත්‍රපට දර්ශනයක මෙන් ආගමන විගමන නිලධාරීන් පුදුමයට පත් කරමින්  

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් , දිව යන්නට විය. මේ සදහා මොහුට ගත වී තිබුණේ තත්පර 02 ක තරම් සුළු කාළයක් පමණි.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එවකට රාජකාරී කරමින් සිටි  ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයා , මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර , ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කළේය.

ඒ සැනින් මෙම විදේශිකයා , එකවරම , අසළ ඇති තාප්පයකට නැග , එයින්  ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග , ඒ මත සැගවී සිට ඇතත් ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් එය දැක ඇත.

 පර්යන්ත  වහළය මත දිව ගොස් , කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන , ගුවන් තොටුපළෙන් පිටතට පළා යාමට උත්සාහ කළත්

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මොහු වට කර පැයකට පමණ පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.