ලෙබනනයේ ශ්‍රී ලංකා තනාපතිනිය විශිෂ්ඨත්වයේ සම්මානය දිනාගනී

shani-karunaratne

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සිය වසර 27ක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයේ පෙන්වන ලද වෘත්තීය නිපුණතාවය,   ඇය විසින් සංක්‍රමණිකයින්, සරණාගතයින් සහ අවතැන් වූවන් පිළිබඳ කරන ලද  සහන ප්‍රයත්නයන්, විගමනිකයන් අතරින් අගතියට පාර්ශවකරුවන් සඳහා වන්දි ලබාගැනීම් සහ සියරට ගෙන්වා ගැනීම සඳහා විදේශ රජයන්  සහ සහන ආයතන සමඟ සම්බන්ධ වෙමින් කරන ලද විශිෂ්ඨ සේවය වෙනුවෙන් වසර දෙකකට වරක් WIM ආයතනය, ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු රජය විසින් ඉහල කාන්තා කලමණාකාරිනියන් සඳහා පිරිනමන  විශිෂ්ඨත්වයේ සම්මානය දිනාගන්නා ලදි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය 2022 ජනවාරි 18 දින, විදේශ තානාපතිවරුන්, අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් කොලඹ  ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි .

විවිධ කලමණාකරණ  ක්ෂේත්‍රයන් සඳහා කරන ලද විශිෂ්ඨ දායකත්වය උදෙසා ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේ කාන්තාවන් 50 දෙනෙකු මෙසේ   සම්මානයට පත්වූ අතර කරුණාරත්න මහත්මිය සිය රාජ්‍ය සේවය උදෙසා මෙසේ සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.

ශානි කල්‍යණරත්න කරුණාරත්න මහත්මිය

තමන්ගේ දෛනික රැකියා රාමුවෙන් ඔබ්බට ගොස් සිය කාර්යභාරය ඉටු කිරීමට සහ ඇයගේ  අදහස් සහ සංකල්ප නිසා අසීරු අවස්ථාවලදී විගමනික සේවකයන් රැක ගැනීම, තානාපති කාර්යාලය ඉටු කරන සේවය මහජනයා සමීප කිරීමට අඩිතාලම දැමීම,  නව ප්‍රවනතා සහ නව අදහස්  සේවයට එකතු කිරීම, පොදු මහජනයා සහ කාර්යාල නිලධාරින්ගේ අභිවෘද්ධිය  අවධානයට ගෙන තීරණ ගැනීම, නව මංමාවත් විවර කිරීම වෙනුවෙන් මෙම විශිෂ්ඨතා ඇගයීම තානාපතිනී ශානි කල්‍යණරත්න කරුණාරත්න මහත්මිය  ලබාගන්නා ලදි.

ඇය බේරූට් පිපිරීම සිදුවූ අවස්ථාවේ කරන ලද  සුභ සාධන කටයුතු සහ ලේ දන්දීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් 2021 වසරේ දී බේරූට් රන් පදක්කමෙන් ද පිදුම් ලැබීය.

shani karunaratne labonan 1