ශ්‍රී ලංකාවේ සිටින යුක්රේන හා රුසියානු ජාතිකයන්ගේ වීසා දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ 2022.02.21 දින වන විට වලංගු සංචාරක වීසාවක් පැවති, රුසියානු සහ යුක්රේන ජාතික සංචාරකයින්ගේ වලංගු වීසා කාලය එදින සිට මාස 02 කාලයක් දක්වා ගාස්තු අය කිරීමකින් තොරව දීර්ඝ කොට ඇති බවයි.
තවද, එම සංචාරකයින් නැවත සිය රටවල් වෙත ආපසු යාමේදී කිසිදු බාධාවකින් තොරව මෙරට ගුවන් තොටුපලවල් වලින් පිටවීම සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති භූ දේශපාලන අර්බුදය හේතුවෙන් එම කාලපය තුළ පනවා ඇති ගුවන් අවකාශ තහනම සහ ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම නිසා මෙම තීරණය ගත් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

