ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා හතැවන කණ්ඩායමත් පිටත් කර යවයි

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා හතැවන කණ්ඩායමත් පිටත් කර යවයි

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා පිටත්වන හතරවන (04) කණ්ඩායමට ගුවන්ටිකට්පත් හා ලියකියවිලි ප්‍රදානය කෙරේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ලියකියවිලි ප්‍රදානය කිරීම 2022.06.10 (දින) සිදුකෙරිණි.

ඊශ්‍රායල් රජයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා 09 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම තෝරාගෙන ඇති අතර, ඔවුන් (2022/06/13) ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අන්තර්ජාල වෙබ් අඩවියේ (www.slbfe.lk) පළ කෙරෙන දැන්වීමට අනුව මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්කිරීමෙන් අනතුරුව ලොතරැයි ක්‍රමය අනුව තෝරාගැනීම ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය (PIBA) මගින් සිදුකරන අතර, මෙලෙස තෝරාගත් අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ඊශ්‍රායල් රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය  විසින් නම් කරන ලද ආයතනයක් මගින් සිදුකරයි. අයදුම්කරුවන්ගේ හැකියාව, කුසලතා මත පමණක් මෙම රැකියා සදහා සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගනු ලබයි.

ඊශ්‍රායල් ෂෙකල් 5300 ක් හෙවත් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 6 කට වැඩි වැටුපක් සාත්තු සේවක රැකියා සදහා ලැබේ. පළමු ලියාපදිංචිය සදහා වසර 2ක කාලයකට රැකියා ගිවිසුම් ලැබෙන අතර, සේවා යෝජකයාගේ කැමැත්ත මත එය දීර්ඝ කිරීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පමණක් බැවින් මෙම රැකියා ලබාගැනිමට කිසිදු පාර්ශවයකට මුදල් නොගෙවන ලෙස අමාත්‍යතුමා රැකියා අපෙක්ෂකයන්ගෙන් ඉල්ලා සිටි.

ගුවන් ටිකට්පත් හා ලියවිලි ප්‍රදානය කිරීමේ අවස්ථාවට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දේණිය, කළමනාකරු අලෙවිකරණ (බඳවාගැනිම්) ජි.විජේසුන්දර මහතා  ඇතුලු පිරිසක් එක්වී සිටියේය.