විදේශ කටයුතු අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් වැඩි රුකියා ප්‍රමාණයක් ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් වැඩි රුකියා ප්‍රමාණයක් ඉල්ලයි

සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ඉහළ ප්‍රමාණයක් ලබාගැනීම සඳහා සිංගප්පූරු රජයේ සහය ලබා දෙන ලෙසත්, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සිංගප්පූරුවේ සංචාරයේදී විශේෂ ඉල්ලීමක් කර ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ,  සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමා සිදු කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 8 සිට 9 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයකු මෙලෙස සිංගප්පූරුවේ  නිල සංචාරයක නිරත වූයේ සිව් වසරකට පසුව ය.

අමාත්‍ය පීරිස් මැතිතුමාා මෙම සංචාරය අතරතුර සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වී ය. ඉන් අනතුරුව අමාත්‍ය පීරිස් මැතිතුමා වෙනුවෙන් නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. තවද, අමාත්‍ය පීරිස් මැතිතුමා 2022 ජුනි 13 වැනි දින සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට නියමිත සිංගප්පූරු මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් මැතිතුමා ද හමුවිය. නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මැතිතුමා ජූනි 8 වැනි දින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මැතිතුමා සහ සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගී වූහ.

සිංගප්පූරු පාර්ශ්වය සමඟ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය කෙරෙහි අවධානය යොමු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පීරිස් මැතිතුමා අරමුදල් සැපයීම, සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සහ සිංගප්පූරුව වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පවත්නා අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයේ සහය ඉල්ලා සිටියේ ය. සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ඉහළ ප්‍රමාණයක් ලබාගැනීම සඳහා සිංගප්පූරු රජයේ සහය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. මේ වන විට සෞඛ්‍ය සේවකයන් සහ විශේෂයෙන් හෙද සේවකයන් සිංගප්පූරුවේ සේවය සඳහා යෙදවීම සම්බන්ධයෙන් දෙරටම සමීපව කටයුතු කරමින් සිටියි.

අමාත්‍ය පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම් මැතිතුමා ද හමු වූ අතර, සිංගප්පූරුවේ සෞඛ්‍ය සේවා හා මිනිස් බලය පිළිබඳ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය කෝ පොහ් කූන් මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සිංගප්පූරුවේ අනේවාසික මහ කොමසාරිස් චන්ද්‍රා දාස් මහතා, ටෙමාසෙක් ජාත්‍යන්තර පදනමේ ප්‍රධාන විධායක නිලධාරී බෙනඩික්ට් චොන්ග් මහතා, ටෙමාසෙක් සමූහයේ උප සභාපති (ආසියාව) සහ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ ද  සිය අදහස් හුවමාරු කරගත්තේ ය.

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් සහ උපකරණ ලබා දීම ඔස්සේ පළ කළ පුළුල් සහයෝගය සහ ටෙමාසෙක් විසින් සිංගප්පූරුවේ සහ විදේශ රටවල බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීම මගින් සැපයුම් දාමයේ හටගන්නා බාධා මඟහරවා ගැනීමට සහයෝගීව කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම අන්තර්ක්‍රියා අතරතුර සිංගප්පූරු රජයට සහ ටෙමාසෙක් ජාත්‍යන්තර පදනමට සිය ස්තුතිය පුද කළේ ය. මානුෂීය ආධාර ලබා දීම සඳහා සිංගප්පූරු රතු කුරුස සංවිධානය විසින් මෑතකදී කරන ලද ආයාචනයට අදාළව සිංගප්පූරු රජය ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ලබා දීමට ප්‍රතිඥා දීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේ ය. රතු කුරුස සංවිධානයේ ඉල්ලීමට අනුව පළමු වෛද්‍ය සැපයුම් තොගය මේ වන විටත් ශ්‍රී ලංකාවට ළඟා වී ඇත.

මහ කොමසාරිස් සශිකලා ප්‍රේමවර්ධන මැතිනිය, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සහ ශ්‍රී ලංකා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ (NAITA) සභාපති ටී.එන්. ගම්ලත් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිල දූත පිරිසට ඇතුළත් විය.

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම නිල සංචාරයෙන් පසුව, 2022 ජුනි 10-11 යන දිනවල පැවැත්වීමට නියමිත IISS-Shangri-La Dialogue 2022 සඳහා ද සහභාගී වීමට නියමිත ය. මෙම නිල සංචාරය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන ලදි.