සංක්‍රමණික අර්බුදය: ලෝකයේ භයානකම සංක්‍රමණික මාර්ග මොනවා ද?

සංක්‍රමණික අර්බුදය: ලෝකයේ භයානකම සංක්‍රමණික මාර්ග මොනවා ද?

2014 සිට එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමය වැනි ගමනාන්ත වෙත ළඟාවීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 50 000කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) ඇස්තමේන්තු කරයි

ශ්‍රී ලංකාවේ මේවන විට පවතින ආර්ථික දුෂ්කරතාව හමුවේ බොහෝ පිරිස් රට හැරයමින් සිටිති. නීත්‍යානකූලව යෑමට නොහැකි පිරිස් සංක්‍රමණය වීම සඳහා පුද්ගල ජාවාරම්කරුවන්ගේ සහය පතයි.

2022 වසරේ මේ දක්වා කාලය තුළ නීතිවිරෝධීව බෝට්ටු මගින් විදෙස් රටවලට සංක්‍රමණය වීමට තැත්කළ 500කට ආසන්න පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් වැඩිපිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවේ මහමුහුදේ යාත්‍රා කරමින් සිටියදීය. ඒ, ත්‍රිකුණාමය, මඩකලපුව, පානම, පානදුර, මීගමුව ඇතුළු මුහුදු ප්‍රදේශවලට ඔබ්බෙන් කළ වැටලීම් වලදීය.

මොවුන් මෙම මුහුදු ගමන්වලට එක්වන්නේ සිය ජීවිත අවදානමද නොතකාය. අත්අඩංගුවට පත් යාත්‍රා බොහෝමයක් මුහුදු ගමන්වලට නුසුදුසු යාත්‍රා බව අනාවරණය වී තිබේ. කෑම, බීම, සනීපාරක්ෂක පහසුකම් අන්කිසිවක් පිළිබඳ අවදානය යොමු නොකර ඇතැම් පුද්ගලයින් කාන්තාවන් හා කුඩා දරුවන්ද සමග මෙම අවදානම් ගමනට එක්වන්නේ ජවාරම්කරුවන් පොරොන්දුවන ගමනාන්තයට රැගෙන යනු ඇතැයි යන විශ්වාසය මතය.

ඇතැම් ජාවාරම්කරුවන් කූට ලෙස මුදල් ලබා ගෙන අහිංසක පුද්ගලයින් අතරමං කළ අවස්ථා පිළිබඳවද ඕනෑ තරම් සාක්ෂි ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධීව බෝට්ටු මගින් සංක්‍රමණය වන පිරිස්වල ජනප්‍රිය ගමනාන්ත බට පත්ව ඇත්තේ, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, හා ඉන්දීය සාගාරයේ ප්‍රංශයට අයත් දිවයිනක් වන රීයූනියන් දිවයිනයි.

බොට්ටු මගින් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිළිබඳ ඔස්ට්‍රේලියාව නිරත්තර විමසිල්ලෙන් පසුවන අතර අත්අඩංගුවට ගනු ලබන නීතිවිරෝධී සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට අයත් දිවයිනක් වන ක්‍රිස්මස් දිවයිනේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යයි.

පසුගිය දින කිහිපයේ එළෙස ඔස්ට්‍රේලියාවට ඇතුලු වීමට උත්සාහ දැරූ පුද්ගලයන් 91 දෙනෙකු එරටින් පිටුවහල් කර යළි ශ්‍රී ලංකාවට එවා තිබේ.

පොලීසිය පවසන්නේ, නීතිවිරෝධීව සංක්‍රමණය වන මෙවැනි පුද්ගලයෙකු අධිකරණය හමුවේ වරදකරුවෙක් වුවහොත් රුපියල් 50,000කට නොඅඩු ලක්ෂ දෙකකට නොවැඩි දඩයක් සහ මාස 06 කට නොඅඩු වසර 05 නොවැඩි සිරදඬුවමකට ලක්වීමට හැකියාව ඇති බවයි.

මේ ජාවාරමේ නියුතු පුද්ගලයන් අබලන් බෝට්ටු යොදා ගෙන අවදානම් ලෙස, දින 14 කාලයක් බෝට්ටුවට දැරිය නොහැකි තරම් පිරිසක් රැගෙන මුහුදු ගමනේ යෙදෙන බැවින් දැඩි අනාරක්ෂිත බවක් පවතින අතර ඇතැම් මුහුදු ගමන් අවසන් වන්නේ ඛේදවාචක වලිනි.

පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ කිසිදු හේතුවක් මත අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවකාශ නොමැති බවයි.

මේ අතර පසුගිය දින කිහිපයක් තුළ, ජාත්‍යන්තර දේශසීමා තරණය කිරීමට උත්සාහ කළ සංක්‍රමණිකයන්ට සිදුවූ මාරාන්තික ඛේදවාචකයන් ද්විත්වයක් වාර්තා විය.

සිකුරාදා (ජුනි 24), අතිවිශාල ජනකායක් මොරොක්කෝවේ සිට උතුරු අප්‍රිකාවේ මෙලිලා ප්‍රදේශයට යාම සඳහා දේශසීමා වැටක් තරණය කරද්දී පුද්ගලයින් 23 දෙනෙකු පමණ මියගියේ ය. ඊට දින තුනකට පසු, අතහැර දමාගිය ට්‍රක් රථයක් තුළ සිට තිබී 46 දෙනෙකුගේ සිරුරු එක්සත් ජනපදයේ සැන් ඇන්ටෝනියෝ නගරයේ පොලිසියට හමුවිය.

කොවිඩ්-19 වසංගතය නිසා අඩුවී තිබූ නමුත්, දැන් ලොව විශාලතම සංක්‍රමණ මාර්ග ඔස්සේ සිදුවන ගමන්බිමන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව පෙනේ. මේ නිසාම බොහෝ රටවල් නැවතත් දැඩි සංක්‍රමණික සීමාවන් හඳුන්වා දුනි.

මෙනිසා, මරණ සංඛ්‍යාව වැඩිවීමට ඉඩ ඇතිබවට විශේෂඥයින් අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ ඒජන්සියක් වන 'සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය' (IOM) ඇස්තමේන්තු කරන්නේ 2014 සිට එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමය වැනි ගමනාන්ත වෙත ළඟාවීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 50,000කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව යි.

මියගිය සහ අතුරුදහන්වූවන්ගේ සැබෑ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකියැ යි ඒජන්සිය විශ්වාස කරයි.

නමුත් සංක්‍රමණිකයන් සඳහා ලෝකයේ භයානකම මාර්ග මොනවා ද? ඒ ඇයි?

මධ්‍යම මධ්‍යධරණී මුහුද

A boat full of migrants is seeing on the Mediterranean Sea

| සංක්‍රමණිකයන් සඳහා ලෝකයේ වඩාත්ම මාරාන්තික මාර්ගයක් වන්නේ මධ්‍යම මධ්‍යධරණී මාර්ගය යි

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ දත්ත අනුව සංක්‍රමණිකයන් සඳහා ලෝකයේ වඩාත්ම මාරාන්තික මාර්ගය මෙය යි. 2014 වසරේ සිට උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට තැත්කළ පුද්ගලයන් 19,500කට අධික පිරිසක් මියගොස් ඇති බවට ගණන් බලා තිබේ.

මෙම සංක්‍රමණ සිදුවන්නේ රබර් ඩිංගි වැනි අටවාගත් හෝ ඕනෑවට වඩා මඟීන්න් පැටවූ යාත්‍රාවන්වල ය. ඉන්, ගමනේ භයානකබව තවත් ඉහළ යයි.

බොහෝවිට මෙම යාත්‍රා මෙහෙයවනු ලබන්නේ අපරාධ කල්ලි සහ පුද්ගල ජාවාරම්කරුවන් විසිනි.

මධ්‍යම මධ්‍යධරණී මාර්ගය හරහා යුරෝපයට පැමිණීමට උත්සාහ කරන සංක්‍රමණිකයන්ගේ ප්‍රධාන පිටත්වීමේ ස්ථානයක් වන ටියුනීසියාවේ, මුහුදේ ගිලී මියයන අය සඳහා සුසාන භූමියක් පවා වෙන්කර ඇත.

ටියුනීසියාවෙන් පැන යාමට බලාපොරොත්තුවෙන් සිටින නයිජීරියානු සංක්‍රමණිකයෙකු වන විකී සුසාන භූමිය නැරඹීමට යන අතරතුර AFP පුවත් සේවයට පැවසුවේ "මේ සොහොන් දැක්කාම මට ගොඩක් දුක හිතෙනවා," යනුවෙනි.

"මේවා [සොහොන්] දකිද්දි, මට මුහුදෙන් යන්න හිතෙන්නේ නැහැ," ඇය තවදුරටත් පැවසුවා ය.

IOM වැනි ආයතන පවසන්නේ වෙනත් සංක්‍රමණිකයන් එවැන්නකින් අධෛර්යමත් නොවනු ඇති බව යි.

"මධ්‍යම මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික පිටවීම් අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. ලෝකයේ වඩාත්ම භයානක මුහුදු තරණයේ දී සිදුවන මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීම කනස්සල්ලට කරුණක්. රාජ්‍යයන් විසින් නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා එය අඛණ්ඩව ජීවිත බිලිගන්නවා," එම සංවිධානයේ ප්‍රකාශිකාවක වන සෆා මසේලි පවසයි.

යුරෝපීය දේශසීමා සහ වෙරළාරක්ෂක ඒජන්සිය වන ෆ්‍රොන්ටෙක්ස් වාර්තා කරන්නේ, 2015 සිට මේ දක්වා මෙම මාර්ගය භාවිතා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 300,000කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති බව යි.

අප්‍රිකානු අභ්‍යන්තර මාර්ග

Sahara dunes

|උතුරු අප්‍රිකාවට ළඟාවීමට තැත්කරන බොහෝ සංක්‍රමණිකයන්ට ඇති ප්‍රධාන තර්ජනයක් වන්නේ සහරාව තරණය යි

බොහෝ අප්‍රිකානු සංක්‍රමණිකයන්ගේ යුරෝපයට ළඟාවීමේ සිහිනය ආරම්භ වන්නේ අප්‍රිකානු මහාද්වීපය හරහා යන ගමනකිනි. එයට සහරා කාන්තාරය හරහා වැටෙන දිගු ගමනක් ද ඇතුළත් විය හැකි ය.

කාන්තාරයේ දරුණු පාරිසරික තත්ත්වයන් විශාල තර්ජනයක්ව පවතියි. IOM ඇස්තමේන්තු කරන්නේ 2014 සහ 2022 අතර කාලය තුළ සහරාව හරහා යන මාර්ගයේ දී පුද්ගලයින් 5,400කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇති බව යි.

"කාන්තාරෙ දී මිනිස්සු මියයන හැටි පේනවා. දුර්වල කට්ටිය එහෙදි මැරිලා යනවා. සමහරු ගෙනාපු වතුර ඉවර වෙලා මැරිලා යනවා," සංක්‍රමණිකයෙකු වන අබ්දුල්ලා ඉබ්‍රාහිම් ඔහුගේ අත්දැකීම AFP පුවත් සේවයට පැවසීය.

සංක්‍රමණිකයන්ට ඇති තවත් විශාල තර්ජනයක් වන්නේ කලාපයේ ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම් කල්ලි ය.

"කලාපයේ ජාවාරම්කරුවන්, සහ දේශසීමා නිලධාරීන් අතින් සිදුවන ප්‍රචණ්ඩත්වයත් සහරාවේ සංක්‍රමණ මාර්ගවල සිදුවන මරණවලින් සැලකිය යුතු ප්‍රතිශතයකට බලපායි", IOM සංවිධානය තම නවතම වාර්තාවේ සඳහන් කරයි.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා තරණය

Migrants trying to cross into the US via Mexico

| සංක්‍රමණිකයින් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව තරණය කිරීමට බොහෝ මාර්ග භාවිතා කරන නමුත් ඇතැම්හු මෙම ගමන පාගමනින්ම සිදුකරති

ඇමරිකා මහාද්වීපයේ සංක්‍රමණ මාර්ග සියල්ලම එක්සත් ජනපදයෙන් අවසන් නොවූව ද, නව නිවසක් සොයා යන බොහෝ දෙනෙකුගේ අවසාන තෝරාගැනීම එය යි.

එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර මායිම අභියෝගාත්මක එකකි. කාන්තාර ප්‍රදේශ ඇතුළු වාසයට නුසුදුසු භූමි සඳහා මෙම ප්‍රදේශය ප්‍රසිද්ධ අතර, සංක්‍රමණිකයන් බොහෝවිට එක්සත් ජනපදයට ඇතුළුවීමට උත්සාහ කරන්නේ දේශසීමා මායිමෙන් ගලන අනතුරුදායක රියෝ ග්‍රෑන්ඩ් ගඟ තරණය කිරීමෙනි.

මෙම මාර්ගයේ දී සිදුවන මරණයන්ට ප්‍රධානතම හේතුවක් වන්නේ දියේ ගිලීම යි. එය 2014 වසරේ සිට පුද්ගලයන් 3,000කට අධික පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති බවට සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ඇස්තමේන්තුගත කර ඇත.

ස්වාභාවික අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරමින් වාහනවල සැඟවී යන අය සැන් ඇන්ටෝනියෝහි මරණවලට තුඩුදුන් ආකාරයේ විවිධ අනතුරුවලට මුහුණ දෙති.

"මෑතක දී එක්සත් ජනපදය දෙසට ඇති සංක්‍රමණ මාර්ගවල දී විශාල ජීවිත හානි සිදුවූ වෙනත් සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා," IOMහි සෆා මසේලි පවසයි.

2021 දෙසැම්බරයේ දී, මෙක්සිකෝවේ චියාපාස්හි සංක්‍රමණිකයන් 56 දෙනෙකු ඔවුන් ගමන් කළ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් මියගියේ ය.

"ලතින් ඇමරිකාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණයවීමේ අන්තරායන් ගැන IOM එක කනස්සල්ලට පත්වෙලා ඉන්නේ," මසේලි වැඩිදුරටත් පවසයි.

ආසියානු මාර්ග

Asian immigrants

2020 වසරේ ලොව පුරා සෑම සංක්‍රමණිකයන් 10 දෙනෙකුගෙන්ම සිව්දෙනෙකුට වඩා ආසියාවේ උපත ලැබූවන් බවත්, ආසියාවට ප්‍රධාන සංක්‍රමණික මාර්ග කිහිපයක් ඇති බවත් සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ මෙම නියෝජිතායතනයට අනුව පසුගිය වසර අට තුළ 5,000කට ආසන්න පිරිසක් ආසියාවේ දී මියගොස් හෝ අතුරුදහන් වී ඇත.

එම මරණවලින් බහුතරයක් රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ සංක්‍රමණිකයන්ගේ ය. ඒ, ආරක්ෂාව සලසා ගැනීමට ඔවුන් බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුද හරහා යාබද රටවලට හෝ අවසානයේ යුරෝපයට පැමිණීමට මුහුදු මාර්ග භාවිතා කිරීමෙනි.

සංක්‍රමණයවීමේ දී ඔවුන් මුහුණදෙන දුෂ්කරතා මාරාන්තික විය හැකි ය.

"අපි බඩගින්නේ හිටියේ. බොන්න වතුර තිබුණේ නැහැ, කෑමක් නැහැ, බත් නැහැ, අපිට කන්න නැති වුණා. මාසයක්ම මුහුදේ එහෙමයි ගතකළේ," රෝහින්ග්‍යා සරණාගතයෙකු වන 37 හැවිරිදි මුහම්මද් ඉලියාස් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ ය. ඒ, ඔහු ගමන් කරමින් සිටි බෝට්ටුවේ කාර්මික දෝෂයක් ඇතිවී ඉන්දීය නාවික හමුදාව ඔවුන් ගලවාගැනීමෙන් පසුව ය.

වෙනත් මාර්ගවල මෙන්ම මෙම සංක්‍රමණිකයන් ද බොහෝ විට මිනිස් ජාවාරම්කරුවන්ගේ කල්ලිවල සූරාකෑමට ගොදුරු වේ.

තවත් ගැටළුසහගත මාර්ගයක් වන්නේ ඉරානය සහ තුර්කිය අතර මායිම වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී තාලිබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු පෙර නොවූ විරූ ලෙස ඇෆ්ගන් සංක්‍රමණිකයන්ගේ වැඩිවීමක් දැකගත හැකි විය.

එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනය (UNHCR) පවසන්නේ මිලියන දෙකකට අධික ඇෆ්ගන් ජාතිකයන් ඉරානය සහ ඒ අවට රටවල සරණාගතයින් ලෙස ලියාපදිංචි වී ඇති බවයි.

(bbc/sandeshaya)