විරෝධතාකරුවන් පිරිසක් සිංගප්පූරුවේ ගුවන් තොටුපොලකටත් රැස්වෙයි

විරෝධතාකරුවන් පිරිසක් සිංගප්පූරුවේ ගුවන් තොටුපොලකටත් රැස්වෙයි
මාලදිවයිනේ රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන වනවිටත් සිංගප්පූරුව වෙත පැමිණ නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා එරටට පැමිණීමට සූදානමින් සිටිය ද ආරක්ෂක හේතූන් මත අදාළ ගුවන් ගමනට එක්ව නොසිටි බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ. 
 

කෙසේවෙතත් මාලදිවයිනෙන් ගුවන් ගතවූ අදාළ ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් අද උදෑසන 07 යි 50 ට පමණ එරට චැන්ගි ගුවන් තොටුපළ වෙත ලගා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ යානයෙන් පැමිණෙන බව වාර්තා වීමත් සමග සිංගප්පූරුවේ සිටින 

ශ්‍රී ලාංකිකයින් පිරිසක් චැන්ගි ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අවස්තාවක රට හැරදා යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය විරෝධය පළ කිරීම සඳහා එලෙස ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. 

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ගුවන් යානයෙන් සිංගප්පූරුවට පැමිණ නොමැති බව තහවුරු වීමෙන් තමන් මහත් අපේක්ෂා භංගත්වයට පත්වූ බව අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස සඳහන් කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේවෙතත් ජනාධිපතිවරයා චැන්ගි ගුවන් තොටුපළට නොපැමිණි බව වාර්තා වීමෙන් අනතුරුව එම පිරිස් විසිර ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර සිංගප්පූරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන රැකවරණය ලබාදීමට ඉඩ ඇතැයි මාලදිවයිනේ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් කළ විමසීම්වලදී ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් හෝ සිංගප්පූරු රජයේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොලද බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ. 

මූලාශ්‍රය -නෙත් නිවුස්