ජපානයේ රැකියා සිහින පෙන්වූ ඹු සැමි යුවළ අත්අඩංගුවට

ජපානයේ රැකියා සිහින පෙන්වූ ඹු සැමි යුවළ අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් වංචනිකව මුදල් ලබාගත් අඹු සැමි යුවළක් 2022.10.04 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ලබාගන්නා බව පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 5ක් ලැබී තිබිණි. ඒ අනුව එම වංචාවට සම්බන්ධ අඹු සැමි යුවළ අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිළධාරීන් අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් ඔවුන් විමර්ශන නිළධාරීන් මගහැර සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

එබැවින් විමර්ශන කණ්ඩායම් ඉතා සූක්ෂම අයුරින් විමර්ශනය මෙහෙයවා මීට සම්බන්ධ කාන්තාව ඇඹිලිපිටිය නගරයේදී අත්අඩංගුවට ගත් පසු ඇයගේ සැමියාද නිළධාරීන්ට භාරවිය. අත්අඩංගුවට ගත් මෙම යුවළ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, රැකියා ලබා දෙන බව පවසා ලබාගත් සියළු මුදල් ඔක්තෝම්බර් මස 18 දිනට පෙර යළි හිමිකරුවන්ට ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප 2ක් මත මුදා හරින ලදී.

මෙම නඩුව ඔක්තෝම්බර් 20 දින නැවත කැඳවීමට නියමිතය.

මෙම විමර්ශනය සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වන සරත් විමලවීර, බුද්ධික විදානපතිරණ ඇතුළු පිරිසක් සහභාගි විය.