හොර වීසා මගින් ඉතාලි පනින්න ගිහින් මාට්ටු

හොර වීසා මගින් ඉතාලි පනින්න ගිහින් මාට්ටු
ව්‍යාජ වීසා මඟින් කටාර් හරහා ඉතාලිය බලා යෑමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. 
 
ඉතාලියේ රැඳී සිටීමට එරටින් දෙන සර්ජිනෝ කාඩ් පත්ද මේ සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත. 
 
එම කාඩ්පත් ව්‍යාජ ලෙස සකස් කර ඇති ඒවා බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මෙසේ ව්‍යාජ වීසා මඟින් ඉතාලිය බලා ගමන් කිරීමට සූදානම් වූ සැකකරුවන් තිදෙනා අම්බලන්ගොඩ, මරදන්කේනි සහ මුලතිව්හි පදිංචිකරුවන්ය.
 
 මිනිස් ජාවාරම්කරුවන්ට විශාල වශයෙන් මුදල් ගෙවා මෙසේ මේ තිදෙනා විදෙස්ගත වීමට සූදානම් වී ඇති බව අනාවරණය වී තිබේ. එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇත.
 
මේ සැකකරුවන් තිදෙනාට අමතරව පෙරේදා (04) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් කටාර් සිට මෙරටට පිටුවහල් කළ ගුවන් මගියකුද අත්අඩංගුවට ගෙන තිබේ.
 
 එම ගුවන් මගියා කටාර් හරහා ඉතාලිය බලා ගුවන්ගත වීමට සූදානම් වූ අවස්ථාවේදී එරටින් පිටුවහල් කර ඇති අයෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.