විගමනික ශ්‍රමිකයින් හරි පාරේ එවන සල්ලිවලට බදු සහන දෙන්න සූදානම්

විගමනික ශ්‍රමිකයින් හරි පාරේ එවන සල්ලිවලට බදු සහන දෙන්න සූදානම්
විගමනික ශ්‍රමිකයන් විසින් නිල බැංකු පද්ධතිය හරහා මෙරටට යොමු කරන ප්‍රේෂණ සදහා බදු අය කිරීමක් නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
 
ඔහු මේ බව පැවසුවේ අද(13) පෙරවරුවේ කම්කරු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දීය.
 
මෙම සතියේ සිට ක්‍රියාත්මක මාසික ආදායම මත අයකරන බදු සම්බන්ධයෙන් වන නවතම තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ නිල බැංකු පද්ධතියෙන් බැහැරව, නීති විරෝධී ක්‍රමයට මෙරටට එවන මුදල්වලට මෙම බදු සහනය හිමි නොවන බවය.
 
මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක් ව මේ වන විට නීති විරෝධී ව මෙරටට මුදල් එවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත්, මේ වන විට කිහිප දෙනෙකතු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් එහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
එහිදී ඔහු මෙසේද, කියා සිටියේය.
 
“උපයන විට ගෙවීමේ බදු ක්‍රමය මෙරට තුළත් ක්‍රියාත්මකයි. විදෙස් රැකියාවක නිරත වෙන ශ්‍රමිකයා එරටේ බදු ප්‍රතිපත්තිවලට යටත්. ඒ නිසා ඔවුන් උපයන මුදලින් ඒ රටට අදාළ බදු මුදල ගෙවලා ඉවරයි. ඒ නිසා ඔවුන් මෙරටට යොමු කරන විදෙස් ප්‍රේෂණ සදහා අපි කිසි ම අවස්ථාවක නැවත වරක් බදු අය කරන්නේ නෑ. එහෙම කරන එක සදාචාරාත්මක නෑ. හැබැයි මේ බදු සහනය තියෙන්නේ, මෙරට නිල බැංකු පද්ධතිය හරහා විදෙස් මුදල් ඒකකවලින් ම මෙරටට ප්‍රේෂණ යොමු කරලා තියෙනවා නම් පමණයි. එහෙම නැති ව වෙනත් නීති විරෝධී ක්‍රමයන්ට මෙරටට මුදල් යොමු කරලා ඒවාට බදු සහන බලාපොරොත්තු වෙන්න එපා. ඒවා අනිවාර්යයෙන් ම නව අදායම් බදු ක්‍රමයට යටත් වෙනවා”. යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.