එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජ මාධ්‍ය භාවිතා කරන විට ඔබ දැනගත යුතුම දේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජ මාධ්‍ය භාවිතා කරන විට ඔබ දැනගත යුතුම දේ

මෑතකදී, අබුඩාබි හි පාසල් ගුරුවරයෙකුට ඔහුගේ නුසුදුසු හැසිරීම පිළිබඳව සිසුන් සහ දෙමාපියන් සමාජ මාධ්‍ය හරහා පැමිණිලි කිරීම නිසා ඔහුගේ රැකියාව අහිමි වූ බව khaleej times වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

තමාව සේවයෙන් නෙරපීමට එරෙහිව පාසලෙන් ඩිරාම් 501,000ක මුදලක් ඉල්ලා එම ගුරුවරයා විසින් වන්දි නඩුවක් ගොනු කළ අතර අධිකරණය මගින් සහ පසුව අභියාචනාධිකරණය විසින් ඔහුගේ නඩුව ප්‍රතිකෙෂ්ප කරනු ලැබුවා.

මේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල සයිබර් අවකාශයේ සිදුවූ එක් සිදුවීමක් පමණි.

ශක්තිමත් සයිබර් අපරාධ නීතියක් සමඟින් ව්‍යාජ පුවත් වලට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැමවිටම ක්‍රියා කරනු ලබන අතර, සමාජ මාධ්‍ය විෂමාචාර සහ අන්‍යයන්ගේ පෞද්ගලිකත්වයට බලපාන ක්‍රියාවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නීති සම්පාදනය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවලට අනුව, කෙනෙකුගේ පෞද්ගලිකත්වයට සහ පෞද්ගලික ජීවිතයට හානි කරන ඡායාරූප, වීඩියෝ හෝ අදහස් පළ කිරීම අවම වශයෙන් මාස හයක සිරදඬුවමක් සහ ඩිරාම් 150,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩ නියම කළ හැකි ප්‍රධාන වරදක් ලෙස හඳුන්වා ඇත.

සමාජ මාධ්‍ය උල්ලංඝණය කිරීම් සඳහා වන දඬුවම් සහ දඩවල සම්පූර්ණ ලැයිස්තුව පහතින් දක්වා ඇත:

  • මහජන මතය අවුස්සන, භීතිය ඇති කරන හෝ ජාතික ආරක්ෂාවට හා කටයුතුවලට හානි කරන තොරතුරු – වසරක සිර දඬුවමක් සහ ඩිරාම් 100,000 දඩයක්
  • නිල නිවේදනවලට පටහැනි ව්‍යාජ පුවත්, කටකතා, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු – වසරක සිර දඬුවමක් සහ ඩිරාම් 100,000 දඩයක්
  • වසංගත, හදිසි අවස්ථා හෝ අර්බුද වලදී අසත්‍ය පුවත් පැතිරවීම – වසර දෙකක සිර දඬුවමක් සහ ඩිරාම් 200,000 දඩයක්
  • වෙනත් පුද්ගලයින්ගේ අවසරයකින් තොරව ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යට මුදා හැරීම – මාස හයක සිර දඬුවමක් සහ/හෝ ඩිරාම් 150,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩයක්.
  • හදිසි අනතුරු හෝ අර්බුදවලට ගොදුරු වූවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ, මිය ගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින්ගේ ජායාරූප සාමාජ මාධ්‍ය වෙත මුදාහැරිම – මාස හයක සිර දඬුවමක් සහ/හෝ ඩිරාම් 150,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩයක්.
  • පුද්ගලයෙකු පිළිබඳ අදහස්, ප්‍රවෘත්ති, ඡායාරූප හෝ තොරතුරු, සත්‍ය වුවද එවැනි දේ ප්‍රචාරය කිරීමෙන් හානියක් විය හැකි බැවින් එවැනි දේ සිදුකරනු ලබන පුද්ගලයින්ට – මාස හයක සිර දඬුවමක් සහ/හෝ ඩිරාම් 150,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩයක්.
  • නොමඟ යවන හෝ සාවද්‍ය දැන්වීම් – සිර දඬුවම සහ/හෝ ඩිරාම් 20,000- ඩිරාම් 500,000 දඩයක්.
  • විදේශ රටක් අපකීර්තියට පත් කරන තොරතුරු හෝ දත්ත ප්‍රචාරය – මාස හයක සිර දඬුවමක් සහ/හෝ ඩිරාම් 100,000 සිට ඩිරාම් 500,000 දඩයක්.
  • කාමුක දර්ශන හෝ අශෝභන අන්තර්ගතයන් සමාජ මාධ්‍යට මුදාහැරිම – සිර දඬුවම සහ/හෝ ඩිරාම් 250,000 සිට ඩිරාම් 500,000 දඩයක්.
  • ආගමට අපහාස කරන සහ අපකීර්තියට පත් කරන අන්තර්ගතයන් සඳහා – සිර දඬුවම සහ/හෝ ඩිරාම් 250,000 – ඩිරාම් මිලියනයක් දක්වා දඩයක්.
  • පරිත්‍යාග එකතු කිරීම සඳහා අන්තර්ගතය – සිර දඬුවම සහ/හෝ ඩිරාම් 200,000 – ඩිරාම් 500,000 දඩයක්.
  • බලපත්‍ර රහිත වෛද්‍ය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන අන්තර්ගතයන් ප්‍රචාරය – සිර දඬුවම් සහ/හෝ දඩ.

(Newswire)