සෝල්හි භීෂණය: 'මම ගැට්ටක හිරවෙලා, මිනිස්සු මැරෙන හැටි බලාගෙන හිටියා'

සෝල්හි භීෂණය: 'මම ගැට්ටක හිරවෙලා, මිනිස්සු මැරෙන හැටි බලාගෙන හිටියා'

නුහායිල් අහමඩ් සෙනඟ අතරින් ඉවතට ඇදගනු ලැබූ අතර, බොහෝදෙනා හුස්ම ගැනීමට මහත් උත්සාහයක් ගනු ඔහු දුටුවේ ය

රාත්‍රියේ, නැටුම් සංගීත හඬ පැතිරෙමින් පැවති විටෙක පටුමඟක දී සිය මිතුරන් සහ නාඳුනන්නන්ගේ හුස්ම හිරවන ආකාරය නැරඹීමට සිදුවූ, මාරාන්තික සෝල් හැලොවීන් තෙරපීමෙන් දිවි ගලවාගත් පිරිස සිය අත්දැකීම මාධ්‍ය හා ප්‍රකාශ කළහ.

දකුණු කොරියාවේ අගනුවර පිහිටි ඉටෙවොං දිස්ත්‍රික්කයේ ස්ථානයක මහා ජනකායක් තෙරපීම හේතුවෙන් පුද්ගලයන් 153දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ජීවිතක්ෂයට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටියි.

"මිනිසුන් පිටිපස්සෙ ඉඳන් තල්ලුකරන්න පටන්ගත්තා, ඒ තල්ලුව රැල්ලක් වගේ ආවේ - අපට කරන්න කිසිදෙයක් තිබුණෙ නෑ," නුහායිල් අහමඩ් BBCයට පැවසීය.

"මට ඊයේ රෑ නිදාගන්න බැරිවුණා. මගේ ඉස්සරහා මිනිස්සු මැරිච්ච විදිය මට තාමත් මැවිලා පේනවා."

ඉරිදා (ඔක්. 30) දහවලේ BBCයට කතා කළ 32-හැවිරිදි ඔහු කියා සිටියේ, තමා ද තෙරපීමට හසුවූබව යි. අන්‍යයින් හෝ තමාවම බේරාගැනීමට හෝ කිසිවෙකුටත් කිසිවක් කිරීමේ හැකියාවක් නොතිබියේයැ යි ඔහු පැවසුවේ ය.

මෙම සිදුවීමේ ඛේදජනකබව පෙන්වන වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පැතිරගොස් තිබේ. අහමඩ් ද සිය කම්පනය දනවන අත්දැකීම Instagramහි බෙදාගත්තේ ය.

දර්ශනයන්හි දැක්වෙන්නේ පිරිසක් - ඉන් බහුතරය නවයොවුන් වියේ පසුවන්නන් හෝ වයස 20ගණන්වල පසුවන්නන් ය - පටු, බෑවුම් සහිත පටුමඟක ඔවුන්ට චලනයවීමට නොහැකි තරම් තදින් සිරවී සිටින අයුරු ය. අනතුරුව ඔවුන් සෑම දිශාවකටම තල්ලුවීම ඇරඹිණි. ඇතැමුන් බිමට තල්ලුවිය. අනෙකුන්ට හුස්ම ගැනීමට නොහැකිවිය.

ඉටෙවොං යනු රාත්‍රියේ විනෝදවීම සඳහා ජනප්‍රියත්වයක් උසුලන, සෝල්හි අසල්වැසි ප්‍රදේශයකි. සෑම සතිඅන්තයක දීම දේශීය සහ විදේශීය ජනයා එහි රැස්වෙන නමුත් හැලොවීන් යනු වසරේ කාර්යයබහුලම රාත්‍රියකි. ඔවුහු ව්‍යසනය සිදුවන අවස්ථාවේ දී, කොවිඩ් වසංගතයෙන් අනතුරුව පැවැත්වූ ප්‍රථම මුහුණු ආවරණ රහිත හැලොවීන් සැමරුමට සහභාගීව සිටියහ.

ඇස්තමේන්තුකර ඇති පරිදි සෙනසුරාදා එය සැමරීමට 100 000ක පමණ ජනකායක් පැමිණ තිබේ. කොවිඩ්වලින් පසු ප්‍රථම වතාවට රැස්වන සංඛ්‍යාව සීමා නොකොට, පිටත දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොකොට මෙය පවත්වනු ලැබිණ.

එහෙත් දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලී සං-මින් පැවසුවේ, ඉටෙවොංහි පටු වීදිවලට එතරම් විශාල ජනකායක් රැස්වනු ඇතැ යි නිලධාරීන් අපේක්ෂා නොකළබව යි.

"ඉටෙවොං වෙත පැමිණෙතැ යි අපේක්ෂා කළ ජනකායේ ප්‍රමාණය පෙර වසරවලට වඩා විශාල වශයෙන් වෙනස්වුණේ නැහැ. ඉතින් පෙර දී [පිරිස වෙත] යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකින් මෙවර ද යොදවා ඇතිබව යි මගේ වැටහීම."

ඇත්ත වශයෙන්ම කියතොත්, සෙනසුරාදා සවස බොහෝ නිලධාරීන් අගනුවර වෙනත් ස්ථානයකට යොදවා තිබූබව ඔහු ප්‍රකාශ කළේ ය.

"[ඉටෙවොං වෙත] යොදවා තිබූ පොලිස් නිලධාරීන්ගේ නිශ්චිත සංඛ්‍යාව ගැන මට හරියටම කියන්න බැරි නමුත්, විරෝධතාවක් සඳහා විශාල ජනකායක් රැස්වනු ඇතැ යි අපේක්ෂා කළ ග්වන්ග්හ්වාමුන් වෙත සැලකිය යුතු නිලධාරීන් පිරිසක් යොදවා තිබුණා," ඔහු මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

මෙම ආපදාවෙන් අවම ලෙස පුද්ගලයින් 82 දෙනෙකු තුවාල ලබා ඇත. ඇතැම් වින්දිතයන්ගේ වයස අවුරුදු 17ට අඩු නිසාවෙන් හෝ ඔවුන් සතුව වැඩිහිටි හැඳුනුම්පතක් නොතිබූ නිසාවෙන් තවමත් ඔවුන් හඳුනාගෙන නැතැ යි ද අමාත්‍ය ලී ප්‍රකාශ කරයි.

ජනාධිපති යූන් සුක්-යෝල් තෙරපීමට හේතුව සොයා පරීක්ෂණයක් කැඳවා ඇති අතර, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Emergency services treat injured people after a stampede on October 30, 2022 in Seoul, South Korea. At least 50 people were reported to be receiving CPR after suffering from cardiac arrest in Seoul's Itaewon area as huge crowds of people stampeded at Halloween parties, according to authorities. (

සෝල්හි වෙසෙන ඉන්දියානු ජාතික තොරතුරු තාක්ෂණ සේවකයෙකු වන අහමඩ් පැවසුවේ, තමා පසුගිය වසර පහක් තිස්සෙම මෙම හැලොවීන් සාදයට සහභාගීවූබව යි.

පසුගිය වසරේ එම ප්‍රදේශයට පොලිස් භටයින් වැඩි පිරිසක් යොදවා සිටි නමුත්, මෙවර පැමිණ සිටියේ තමන් මින් පෙර දැක නැති තරම් විශාල සෙනඟක් වන අතර "ජනයා පාලනය කිරීමක්" සිදු නොවූබව ද ඔහු පැවසීය.

අහමඩ් එහි ගොස් තිබුණේ මිතුරන් සමග වන අතර, පටු පටුමඟට ඇතුළුවීමට ඔවුනට අවශ්‍යවූයේ මන්දැ යි තමාට මතක නැතිබව ප්‍රකාශ කළේ ය. එනමුත් එය විසිතුරු වෙස් ඇඳුම්වලින් සැරසී සාදයට පැමිණෙන අය රැඳී සිටීමට තෝරාගන්නා ජනප්‍රිය ස්ථානයක්බව ඔහු සඳහන් කරයි.

නමුත් ඔවුන් සෙනඟ තුළට පිවිසි වහාම යමක් වැරදීගොස් ඇතැ යි ඔහුට තේරුම්ගොස් තිබුණි.

"ඔයා [එතන] නිශ්චලව හිටගෙන හිටියත්, කවුරුහරි ඔයාව ඉස්සරහින් තල්ලු කරනවා. තව කවුරුහරි පිටිපස්සෙන් තල්ලු කරනවා. ඒක කීපවතාවක්ම සිද්ධවුණා. මොකක්හරි වැරැද්දක් සිද්ධවෙලා කියලා මට තේරුණා. මොකක්හරි වෙයි කියලා මට බය හිතුණා."

තමා ඇදවැටුණු නමුත් පටුමඟේ පසෙකින් තිබූ තරප්පු වෙත ගමන් කිරීමට තමා සමත්වූබව ඔහු පැවසීය: "දේවදූතයයෙක්ගේ වගේ පියාපත් තිබුණු [ඇඳුමක් ඇඳ සිටි] කාන්තාවක් හිටියා - ඇය මට සංඥා කළා එන්න කියලා. මට ඉහළ පඩියකට නැගගන්න පුළුවන් වුණා," ඔහු ප්‍රකාශ කළේ ය.

"මිනිස්සු හුස්ම හිරවෙවී, කෑ ගහ ගහ... මිරිකි මිරිකී... වැටි වැටී හිටියේ... එතන ඕනෑවට වඩා සෙනඟක් හිටියා.

"මම සිද්ධ වෙන හැමදේම බලාගෙන පඩිපෙළේ හිටියේ. එයාලා දැනන් හිටියේ නැහැ මොනවා කරන්න ද කියලා. අපිට කරන්න පුළුවන් දෙයක් තිබුණෙත් නැහැ."

ජනයා ඔවුන්ගේ අවසන් හුස්ම විය හැකි ආශ්වාසය ගනු බලා සිටිය දී තමාට අසරණකමක් දැනුණුබව ඔහු පැවසීය. ඔහු තම මිතුරන් ගැන කණස්සල්ලට පත්ව සිටි අතර ඔවුන් ඇමතීමට උත්සාහකළ නමුත් ඔවුන් පිළිතුරු දුන්නේ නැත. ඔවුන් සෙනඟින් ගැලවීමට සමත්වූබව ඔහු දැනගත්තේ පැය ගණනකට පසුව ය.

සිදුවූයේ කුමක්දැ යි සම්පූර්ණ අවබෝධයක් සෙනඟ විසිරගොස් ගිලන්රථ පැමිණෙන තෙක් අහමඩ් වෙත නොවීය. "ඒ කට්ටිය යටින් සිරුරු අදින්න පටන්ගත්තා," ඔහු කියා සිටියේ ය. "එක් කොල්ලෙක්, එයා දන්නවා එයාගේ යාළුවා මැරිලා කියලා, ඒත් එයා යාළුවාට විනාඩි 30ක් CPR දෙමින් හිටියා."

Itaewon crowd scene, 29 Oct 22

| මහා ජනකායක් ඉටෙවොංහි පටුමං තුළට තෙරපී ගියේ ය

ඔහුගේ වෙනත් මිතුරෙකු ඔහු නැවැත්වීමට උත්සාහ කළබව අහමඩ් සිහිපත් කළ නමුත් තරුණයා සිය කාර්යය නැවතූයේ නැත. ඔවුන් අසල සිටි ඇතැමෙක් කිසිවක් සිදුනොවූ පරිද්දෙන් මේකප් ගල්වමින් සිටිබව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ව්‍යසනයේ සැබෑ පරිමාණය කෙමෙන් අනාවරණයවිය. ගිලන්රථයන් රෝහලට ගෙන යායුතුවූ තුවාලකරුවන්ගෙන් කෙතරම් පිරී ඉතිරීගියේ ද යත්, පැයක් පමණ ගතවන තෙක් මියගිය තැනැත්තන්ගේ සිරුරු එතැනම අත්හැර දමා තිබුණි.

රාත්‍රියේ පසුයාමයේ දී, හැලොවීන් ඇඳුමින් සැරසී තිබූ සිරුරු නිල් පැහැ රෙදිවලින් ආවරණයකර මාවත දිගට එක පෙළට තැන්පත්කර තිබුණි. ඇතැමුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු ගිලන්රථවලට ගෙනයනු ලැබිණි. උත්සවයට සහභාගීවීමට පැමිණ සිටි ඇතැම්හු සිහිසුන්ව වැටී සිටි අයට හැකි උපරිමයෙන් CPR ලබාදුන් අතර, රට පුරා ප්‍රදේශයන්ගෙන් උපකාර සඳහා එහි එවන ලද හදිසි සේවකයෝ සියගණනක් ද ඊට සහභාගීව උන්හ.

ඉරිදා උදෑසන (ඔක්. 30), අතුරුදන්වූවන්ගේ ඥාතීහු සහ හිතවත්හු එම ස්ථානයට පැමිණ සිය සමීපතමයන් එහි සිටියේදැ යි හෙළි කරන අන්දමේ හෝඩුවාවන් සොයමින් සිටියහ. නමුත් පවුල්වල සාමාජිකයන්ට හඳුනාගැනීම පහසුවනු පිණිස මෘත ශරීරයන් මාර්ගයේ සිට අසල පිහිටි ව්‍යායාමශාලාවකට ගෙනගොස් තිබුණි.

ප්‍රජා මධ්‍යස්ථානය යනු ඉරිදා දිනයේ බොහෝ වේලාවක් පුරාවට ශෝකයෙන් වෙලී තිබූ ස්ථානය යි. වින්දිතයන් අතර තම ආදරණීයයා සිටියිදැ යි සොයාබැලීමට ඥාතීන් එහි පැමිණෙමින් සිටියේ ය. සිය ආදරණීයයන් පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් නැතැයි දැනගැනීමට ලැබුණුකල ඉන් ඇතැමෙක් හඬන්නට පටන්ගත්හ. තවත් සමහරුන් පිටතට ගෙනයාමට සිදුවූයේ ඔවුන් මහත් ශෝකයෙන් වෙලී, ඇවිදීමට නොහැකි තරම් දුර්වලව සිටිබැවිනි.

තම 22-හැවිරිදි පුතු සොයමින් සිටි එක් කාන්තාවක් කතාකිරීමට නොහැකි තරමට කලබලවී සිටියා ය. ඔහු පෙරදා රාත්‍රියේ ඉටෙවොංහි රාත්‍රී සමාජ ශාලාවක සේවයට ගියබවත්, ඉන්පසු ඔහුගෙන් කිසිදු ආරංචියක් නොලැබුණුබවත් ඇය පැවසුවා ය.

අගනුවර විවිධ ස්ථානවල වින්දිතයන් සඳහා පූජාසන පිහිටුවා තිබේ.

මෙවන් අවස්ථාවන්හි ක්‍රියාත්මකවන ආරක්‍ෂක ප්‍රමිතීන් සහ ජනකාය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග කෙරෙහි අනිවාර්ය අවධානයක් යොමුවනු ඇත. නමුත් දැනට දකුණු කොරියාව එහි තරුණ තරුණියන් බොහෝදෙනෙකුගේ මරණය ගැන ශෝකවෙමින් සිටියි.

අතිරේක වාර්තාකරණය වොං ජුංග් බේ සහ හෝසු ලී විසිනි.

(bbc/sandeshaya)

සබැඳි පුවත්