ව්‍යාජ මුද්දර ගසා විදේශ ගතවීමට තැත්කළ කාන්තාවන් දෙදෙනෙකුගේ විදෙස් ගමන අත්හිටුවයි

ව්‍යාජ මුද්දර ගසා විදේශ ගතවීමට තැත්කළ කාන්තාවන් දෙදෙනෙකුගේ විදෙස් ගමන අත්හිටුවයි

රැකියා සඳහා විදේශ ගතවන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආරක්ෂිත මුද්දරය ව්‍යාජ ලෙස යොදාගෙන ඕමානයට රැකියා සඳහා යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් භාරයට ගෙන විමර්ශන කටයුතු සඳහා කාර්යාංශ විමර්ශන ඒකකය වෙත යොමුකර ඇත. 

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා ඕමානයට විදේශ ගතවීම සඳහා ගුවන් තොටුපොලේ කාර්යාංශයේ නිළධාරීන් මගහැර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කවුන්ටර වෙත ගිය අවස්ථාවේදී, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රවල තබා ඇති ආරක්ෂිත මුද්දර හා කාර්යාංශ ආරක්ෂිත මුද්‍රා ව්‍යාජ ඒවා බවට  ආගමන විගමන නිළධාරීන් විසින් හදුනාගෙන ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකය වෙත යොමුකර ඇත. එම කාන්තාවන් දෙදෙනා ලබාදුන් ප්‍රකාශ අනුව මෙම නීතිවිරෝධි කටයුත්ත සඳහා කොළඹ ආදුරුප්පු වීදියේ තැරැව්කාරියක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුවීම නැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති නමුත් විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ තැරුව්කරුවන් විසින් සූක්ෂම අයුරින් සිදුකරනු ලබන මිනිස් වෙළඳාම නොකඩවා සිදුකරන බව මෙමගින් පෙනීයයි.  මහජන ආරක්ෂක අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙවැනි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු නොකඩවා සිදුකරනු ඇත.