සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සදහා පුද්ගලයින් රැගෙන යන ජාවාරම්කරුවන් සොයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙහෙයුම්

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සදහා පුද්ගලයින් රැගෙන යන ජාවාරම්කරුවන් සොයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙහෙයුම්
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සදහා පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොල කාර්යාංශය සහ විශේෂ විමර්ශන ඒකකය එක්ව මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා වන මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
 
ඒ අනුව ගුවන්තොටුපොලේදී සිදුකරන විමර්ශන කටයුතු දැඩි කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත. ඒ අනුව පසුගිය දින තුනේදී සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සදහා පිටත්ව යාමට ගත් උත්සාහයන් තුනක් වලක්වා, රැකියා සදහා පිටත්ව යාමට උත්සාහ ගත් පුද්ගලයින් 23 දෙනෙකු නතර කර තිබේ.
 
දෙසැම්බර් මස 2 වන සිකුරාදා දින මැලේසියාවේ සංචාරය සඳහා යන බව හගවා මැලේසියාවේ රැකියා සඳහා යාමට පැමිණි 9 දෙනෙකුගේ විදේශ ගමන නතර කිරීමට ගුවන් තොටුපොල ඒකකයේ කාර්යාංශ නිළධාරීන් සමත්වී ඇති අතර, එම පිරිසට කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු අයත් වේ. එසේම දෙසැම්බර් මස 03 දින සංචාරක වීසා මගින් රැකියා සඳහා මැලේසියාවට යාමට උත්සහ කළ කාන්තාවන් පස් දෙනෙකු හා දෙසැම්බර් 04 වන ඊයේ දින සංචාරක වීසාපත් මගින් මැලේසියානු රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් හත්දෙනෙකුගේ විදේශ ගමන ගුවන් තොටුපොල ඒකකයේ කාර්යාංශ නිළධාරීන් විසින් නතර කර තිබේ.
 

මෙම ජාවාරම් සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර ඇති අතර විදේශ ගමන් තහනමක්ද පනවා ඇත. මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.