රට රැකියා පෙන්වා මුදල් ගැරූ වාරියපොල කුමාරි රිමාන්ඩ්

රට රැකියා පෙන්වා මුදල් ගැරූ වාරියපොල කුමාරි රිමාන්ඩ්
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වාරියපොළ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් අබේවර්ධන පසුගියදා නියෝග කර තිබේ.
 
වසර ගණනාවක් සැඟව සිටි බව කියන මෙම සැකකාර කාන්තාව පසුගිය 02 වැනි දින වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබිණි.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වාරියපොළ ඉහළ මළගනේ පදිංචි ජයසුන්දර මුදියාන්සේලාගේ නිලන්ති ජයසුන්දර මැණිකේ නොහොත් කුමාරි නමැති 47 හැවිරිදි කාන්තාවකි.
 
දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් තම සොහොයුරියක කැනඩාවේ සේවය කරන බවත් ඒ මඟින් එරටේ රැකියා ලබාදීමට හැකි බවත් පවසා මෙසේ මුදල් වංචා කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
 
මෙම කාන්තාව විසින් පුද්ගලයන්ගෙන් මූලිකව සුළු මුදලක් ලබාගෙන ඔවුන්ව ඩුබායි වෙත රැගෙන ගොස් එතැනින් විවිධ හේතු දක්වා ඉන්දුනීසියාවටත් නැවත ඩුබායිවලටත් යළිත් ඉන්දුනීසියාවටත් ගෙන්වමින් වරින් වර ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඇත. මෙසේ එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 14 සිට ලක්ෂ 45 දක්වා ලබාගෙන ඇති බව පොලිසියට ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වී ඇත.
 
මේ ආකාරයට මෙම කාන්තාවගේ වංචාවට හසු වූ ඇතැම් පිරිස් හට වීසා අවසන්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ සිරදඬුවම් විඳීමට ද සිදු ව ඇතැයි වාර්තා වේ.
 
ඇතැම් අවස්ථාවල පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ අරමුණ ඇතිව මෙම කාන්තාව විසින් කැනඩාවේ ව්‍යාජ වීසා තම විදේශ ගමන් බලපත්වල යොදා ඇති බව ද වංචාවට හසු වූ පිරිස පවසා තිබේ.