සීමාව පැන්න ඉන්දීය ධීවරයින් වෙනුවෙන් වයිකෝ හඬගායි!‍

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් වෙනුවෙන් වයිකෝ හඬගායි!‍
ශ්‍රී ලංකාවේ සිරගතව සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජයේ මැදිහත්වීම සිදුකළ යුතු බව මරුමලාර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (MDMK) නායක සහ රාජ්‍ය සභා මන්ත්‍රී වයිකෝ පවසයි.  
 
පසුගිය සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළ ඉන්දීය ධීවරයින්ගේ පවුල්වලට වන්දි ලබා ගැනීම සඳහා ද මධ්‍යම රජය ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බවයි.
 
මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හානි කළ ඉන්දීය ධීවරයින්ගේ යාන්ත්‍රික බෝට්ටු සඳහා ද වන්දි ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මූලිකත්වය ගන්නා ලෙස ඔහු මධ්‍යම රජයට ඉල්ලීම් කර තිබේ.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් ගේ මිල අධික යාන්ත්‍රික ධීවර යාත්‍රාවලට, ධීවර දැල් ඇතුළු උපකරණවලට වරින් වර අලාභහානි සිදු කර ඇති බවට ඔහු චෝදනා කරයි.
 
පසුගියදා තමිල්නාඩුවේ පුදුකෝට්ටෙයි ප්‍රදේශයේ ධීවරයින් 14 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් වහා ම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියි.
 
මීට පෙර ද ශ්‍රී ලංකා නාවික හමුදා ග්‍රහණයේ සිටින තමිල්නාඩු ධීවරයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු ධීවර සංවිධාන කිහිපයක් වැඩ වර්ජනයක නිරත වූ අතර, පුදුකෝට්ටෙයි සහ රාමනාතපුරම් ප්‍රදේශවල විරෝධතා පෙළපාලි පැවැත්විණි.