ප්‍රවේසම්වන්න - ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා දෙන බවට වංචාවක්

ප්‍රවේසම්වන්න - ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා දෙන බවට වංචාවක්

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ලොතරැයි ක්‍රමයට අනුව තෝරාගත් ශ්‍රී ලාංකිකයින්ට ඒ බව දැනුම් දීමට පෙර ඊශ්‍රායලයේ සහ මෙරට සිටින සංවිධානාත්මක වංචාකාරීන් පිරිසක්  රැකියා සඳහා තේරී සිටින පුද්ගලයින්ගේ දුරකථන අංක උපක්‍රමශීලි ලෙස ලබාගෙන ඇමතුම් ලබාදී ලොතරැයි ක්‍රමය මගින් අනිවාර්යෙන්ම තෝරා දිය හැකි බව පවසා වංචනික ලෙස මුදල් අයකරන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී ඇත.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගනු ලබන්නේ සාත්තු සේවා රැකියා සඳහා පමණක් වන අතර, එම රැකියා සඳහා මේ වන විට බඳවා ගැනීමට නීතිමය අවසරය හිමිව ඇත්තේද ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණි. සුදුසුකම්ලත් සාත්තු සේවා රැකියා ලාභීන් ඊශ්‍රායලයේදී ලොතරැයි ක්‍රමයකට අනුව තෝරාගනු ලබන අතර. තෝරා ගැනීම සඳහා  කිසිදු පුද්ගලයෙකුට පෞද්ගලිකව මැදිහත් වීමට හෝ බලපෑම් කිරීමට කිසිසේත් හැකියාවක් නොමැත.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යාමට අවශ්‍ය සුදුසුකම් දෙරට අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ සඳහන් කර ඇත. ඒ අනුව වයස අවුරුදු 25-45 අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම රැකියා අවස්ථා ඇති අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙනු ලබන දින 45 සාත්තු සේවා පුහුණුව NVQ III මට්ටම සම්පූර්ණ කළ යුතුව ඇත. දැනට හෙද සේවයේ නියුතු අයෙකු නම් පිළිගත් හෙද පුහුණු පාඨමාලාවක් හදාරා මාස 11ක පළපුරුද්ද සපුරා තිබිය යුතු වේ. අයදුම්කිරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් වන අතර, ඉංග්‍රිසි භාෂා පාඨමාලාවක් හදාරා තිබීම අත්‍යාවශ්‍ය වේ. 

එම තනතුරු සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදය වන්නේ, ඉහත සුදුසුකම්ලත් අයගේ ජීව දත්ත විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබාදුන් පසු එම ජීව දත්ත ඊශ්‍රායලයේ (PIBA- Population in Imigration Border Authority)  ආයතනය වෙත යොමුකරනු ලබන අතර, ඔවුන් විසින් ලොතරැයි ක්‍රමයට අයදුම්කරුවන් තෝරාගනු ලබයි. ඉන්පසු එසේ තෝරාගත් බවට හෝ තෝරා නොගත් බවට කෙටි පණිවුඩයක් මගින් අදාල අයදුම්කරුවන් වෙත එම ආයතනය මගින්ම සෘජුවම දැනුම්දීමක් සිදුකරයි.

එසේ තෝරාගන්නා අයදුම්කරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කැඳවා PIBA ආයතනයේ අනුමැතිය ලත් සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය මගින් සම්මුඛ පරීක්ෂණ පවත්වයි. එම සම්මුඛ පරීක්ෂණය සම්පූර්ණයෙන් විඩියෝ ගතකර, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත යවනු ලබන අතර, එරට හාම්පුතුන් එම වීඩියෝව බලා තමන් කැමති පුද්ගලයාව තෝරාගෙන රැකියා ගිවිසුමක් එවනු ලබයි. ඉන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශය  ඔවුන් විදේශ ගතකිරිමේ කටයුතු  සිදුකරනු ලැබේ .

එබැවින් ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා හෝ ලොතරැයි දිනුම් ඇදීමෙන් තේරීම සඳහා කිසිම මැදිහත්වීමක් යම් පුද්ගලයෙකුට හෝ කිසියම් ආයතනයකට කල නොහැකි කටයුත්තක් බැවින්, කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් හෝ තමාගේ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

තවද, ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා සඳහා මේ වන විට වැඩි වශයෙන් කාන්තාවන් සඳහා ඉල්ලුමක් පවතින බවද කාර්යාංශය සඳහන් කර සිටියි.