සීෂෙල්ස් හරහා ඕමාන් යවන්න ගිය ජාවාරමක් හෙළිවෙයි

සීෂෙල්ස් හරහා ඕමාන් යවන්න ගිය ජාවාරමක් හෙළිවෙයි
සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන බවට පවසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාළ  ඒජන්සි ආයතන බලපත්‍රය  අවලංගු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතාට දැනුම් දී ඇති බව ද,  එම කාර්යංශය විසින් නිවේදනය කර ඇත.
 
කාන්තාවක් විදේශගත වීම සඳහා ගුවන්තොටුපලට ගිය අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් ඇයගේ ලියාපදිංචිය පරික්ෂා කිරීමේදී ඇය සතුව තිබී සීෂෙල්ස් රාජ්‍යයට නිකුත් කළ රැකියා වීසා පතක් සහ ඕමාන් රාජ්‍යයට නිකුත්කළ සංචාරක වීසා පතක් හමුවූ බවත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඒජන්සි ආයතනයක් මැදිහත්වී ලේඛන සකස්කර ඒජන්සි ආයතනය වගකීමෙන් බැහැරවී මෙම කාන්තාව පුද්ගලිකව ගෙන්වාගත් වීසාපතකින් ලියාපදිංචි වන ආකාරයට පෙන්වා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
 
අදාළ කාන්තාව සංචාරක වීසාපතකින් ඕමානයට යෑමට සැලසුම් කර තිබී ඇතැයි අනාවරණය වීමෙන් පසුවවිදේශ ගතවීම වලකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන්  වෙත යොමු කළ බවත් සිද්ධියට අදාළ ඒජන්සි හිමිකාරිය අත්අඩංගුවට ගෙන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත  මුදාහැරී බවත් එම කාර්යංශය කියයි.