ජපන් රටේ රැකියාලාභී ශ්‍රි ලාංකික තරුණියෝ ඇගයීමට ලක්වෙති (Photo)

ජපන් රටේ රැකියාලාභී ශ්‍රි ලාංකික තරුණියෝ ඇගයීමට ලක්වෙති (Photo)

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් වශයෙන් ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීම සදහා ජපානයට ගිය තරුණියන් දෙදෙනෙකු එරට ප්‍රධාන පෙළේ සගරාවක් වන With IM සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කරමින් ඒ පිළිබඳව ප්‍රශංසා සහිත ලිපියක් පළකර ඇත. මෙම තරුණියන් දෙදෙනා ඒ සඳහා තෝරා ගැනීමට විශේෂම හේතුව වී ඇත්තේ තම ආයතනයේ සියළු දෙනාගේ ආදරය දිනාගනිමින් සේවය කිරීමයි.

හලාවත පදිංචි කාවින්ද්‍යා සිතුමිණි හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි අශිනි නිමේෂා 2021 වසරේ සාත්තු සේවා පුහුණු ලාභීන් ලෙස ජපානයට පිටත්ව යන අතර, ඔවුන් දෙදෙනා ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ පිහිටා ඇති Life Design ආයතනය මගින් පවත්වාගෙන යන EMJU සාත්තු සේවා මධ්‍යස්ථානයේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කර ඇත.

ඔවුන් දෙදෙනා සතුව ඇති ඉහළ ජපන් භාෂා හැකියාවත්, සිත් ගන්නා සුළු සිනහවත් හේතුවෙන් එම ආයතනයේ රැදී සිටින වැඩිහිටියන්ගේ හා සේවය කරන ජපන් ජාතිකයින්ගේ දැඩි ආදරය හා කරුණාවට ලක් වී තිබෙන අතර වර්තමානය වන විට ඔවුන් එම සමාගමට නැතුවම බැරි සාමාජිකයින් වී ඇත.

Life Design ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Katsuya මහතා මෙම ශ්‍රි ලාංකික තරුණියන් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, තමන් ශ්‍රි ලාංකික පුහුණුලාභීන් තම ආයතනයට බඳවා ගැනීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවූ බවත්, මෙම තරුණියන්ගේ  ක්‍රියාකලාපය අනුව දැඩි විශ්වාසයක් ඔවුන් පිළිබඳව ඇති වූ බවයි.  තමන්ගේ ආයතනය ඉදිරියටත් ශ්‍රි ලාංකික පුහුණු ලාභීන් බඳවාගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශ රැකියා වල නියුතු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මේ අයුරින් තම හාම්පුතුන්ගේ හා සේවා දායකයන්ගේ සිත් දිනා ගනිමින්  සේවයේ නිරත වීම අපේ  රටට මහත් ආඩම්බරයක් ගෙන දෙන්නාසේම එමගින් රටේ කීර්ති නාමය ඉහල නංවාලීමටද එය මහත් පිටිවහලක් වනු ඇත.