සිගිති දියණියට හිංසා කර, විදේශ ගත මවට ඡායාරූප යැවූ නරුම පියා පොලිස් භාරයට

සිගිති දියණියට හිංසා කර, විදේශ ගත මවට ඡායාරූප යැවූ නරුම පියා පොලිස් භාරයට

තමන්ගේ වයස අවුරුදු එක හමාරක් වන සිගිති දියණියට හිංසා පීඩා කරමින් එම අවස්ථාවන් ඡායාරූප ගතකර ඩුබායි හි සේවය කරන දැරියගේ මවට යැවූ පියෙකු බකමූණ පොලිසිය විසින් 2023.03.09 දින අත්අඩංගුවට ගන්නා ලදී.

බකමූණ, අකරගල් යාය ප්‍රදේශයේ පදිංචි විවාහක දෙදරු පියෙකු වන සැකකරු, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් විවාහක දෙදරු මවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහි ප්‍රථිඵලයක් වශයෙන් මෙම සිගිති දැරිය උපත ලබා තිබේ. දැරියගේ මව පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් දැරියට වයස අවුරුද්දක් ගත වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමකින් තොරව නීතිවිරෝධී අයුරින් රැකියාව සඳහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් තිබේ.

සැකකරු විසින් වරින් වර කුඩා දැරියට හිංසා කරමින් ඡායාරූප මෙම කාන්තාවට යවා ඇති අතර, මුදල් නොඑවන්නේ නම් දිගින් දිගටම දැරියට කරදර කරන බවට තර්ජනය කර තිබේ. මේ හේතුවෙන් දැරියගේ ජීවිතයට හානිවේ යැයි සිතා ඇය විසින් මේ පිළිබඳව තම මවට දැනුම් දී, පොලිසියට පැමිණිලි කරන ලෙස දන්වා ඇත. ඒ අනුව දැරියගේ මිත්තණිය මේ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර, වේයන්ගොඩ පොලිස් ස්ථානය විසින් මේ පිළිබඳව බකමුණ පොලිස් ස්ථානය දැනුවත් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ බකමූණ පොලිස් ස්ථානයේ නිළධාරීන් (2023.03.09) දින රාත්‍රි 11.30ට පමණ සැකකරුගේ නිවෙස වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විටත් ඔහු එම ප්‍රදේශයෙන් පලායාමට සූදානම්ව සිට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු (2023.03.10) දින හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, කුඩා දියණිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමුකර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඩබ්.උපුල් බොලුකඳුර, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.එස්.එම්. සෙනෙවිරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක ශෂිකලා, පොලිස් සැරයන් 50910 චන්දන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

රැකියාවක් සඳහා වයස අවුරුදු 45ට අඩු කාන්තාවක් විදේශ ගතවන්නේ නම් තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වාර්තාවක් අනිවාර්යයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය. වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශ ගතවීමට කිසිසේත්ම අවසර ලබානොදෙන අතර, ඊට ඉහළ වයස් කාණ්ඩවල දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණය වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව ලබාදිය යුතුවේ. එසේ නොමැතිව වංචාකාරී අයුරින් මව්වරුන් විදේශ රැකියා සඳහා යොමුවීම හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන අතර, දරුවන්ගේ රැකවරණය පිළිබඳව මූලිකවම අවධානය යොමුකරමින් නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.