රැකියා සඳහා විදෙස්ගත වන කතුන්ට නව චක්‍රලේඛයක්

රැකියා සඳහා විදෙස්ගත වන කතුන්ට නව චක්‍රලේඛයක්

රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමට නව චක්‍රලේඛයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023.03.31 දාතමින් නිකුත් කර තිබේ. විදේශගත වන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සුරක්ෂිත කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉකුත් වසරේ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට  ලද අනුමැතියකට අනුව රැකියා සඳහා විදේශගත වන සියලු කාන්තාවන්ගෙන් බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් කැඳවීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඉකුත් වසරේ චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. එම චක්‍රලේඛය වඩා කාර්යකක්ෂම සහ එලදායී කිරීමේ අරමුණින් නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

දරුවන් සිටින මව්වරුන් රැකියා සඳහා විදේශගත වුවද ඔවුනගේ දරුවන්ගේ සෞඛ්‍යමය අධ්‍යාපනික සහ සමාජීය රැකවරණය  තහවරු කිරීම දැඩි සමාජීය අවශ්‍යතාවයක්ව පැවතිනි. ඒ අරමුණ සාක්ශාත් කර ගැනීම උදෙසා නව චක්‍රලේඛය නිකුත්කර ඇත. අදාළ චක්‍රලේඛයට අනුව වයස අවුරුදු දෙක නොයික්ම වූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශ ගත වීමට අවසර හිමි නොවේ. එමෙන්ම වයස අවුරුදු 45 නොඉක්ම වූ රැකියා සඳහා විදේශගත වන සියලු කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබීමට අදාළ වාර්තාව සම්පූර්ණ කළ යුතුය.

අදාළ වාර්තාවට අනුව වසස අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින, රැකියා සඳහා විදේශගත වන මව්වරුන් සිය දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සම්බන්ධව විකල්ප වැඩපිළිවෙළක් තමන් පදිංචි ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වේ. මව්වරුන් විදේශගත වූ පසු එම වැඩ පිළිවෙළ සාර්ථක ලෙස ඉටුකිරීම සඳහා සකස් කළ සංවර්ධන සැලැස්මක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් විසින් ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැංවිය යුතුවේ.

නව චක්‍රලේඛයට අනුව කාණ්ඩ කිහිපයකට අයත්වන රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්  ළමා සුරැකුම් වාර්තාව කාර්යාංශයේ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර තිබේ.

රැකියාවක් සඳහා විදේශගතව සිට නැවත ඇතුළුවීමේ වීසා ලබා මෙරටට පැමිණෙන කාන්තාවන් මාස හයක කාලයක් තුළ නැවත විදේශ රැකියාව සඳහා පිටත්ව යන වන විට ළමා සුරැකුම් වාර්තාව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

එමෙන්ම නේවාසික වීසා, ශිෂ්‍ය වීසා සහ භාරකාරීත්වය යටතේ වන වීසා සහිතව විදේශගතව සිටින ලද කාන්තාවන් විදේශයන්හිදී රැකියා කර නැවත ඇතුළුවීමේ වීසා ලබා මෙරටට පැමිණ රැකියා සඳහා විදේශගතවන විට අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.

එමෙන්ම දරුවන් සමග රැකියා සඳහා විදේශගතවන කාන්තාවන් සහ කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවන් පැමිණි දින සිට මාස නවයක් කාලයක් තුළ නැවත විදේශ රැකියා සඳහා පිටත්ව යන අවස්ථාවක දී ද අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර තිබේ.

විදේශගත වන කාන්තාවන් අදාළ වාර්තාව ලබා ගැනීමට ඒ සඳහා නිකුත්කර ඇති අකෘතිපත්‍ර පුරවා තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කිරීමෙන් අනතුරුව ප්‍රදේශය අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය. ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන්ගේ නිසි ක්ෂේත්‍ර පරික්ෂාවකින් පසු ළමා සුරැකුම් වාර්තාවට අවශ්‍ය නිර්දේශ ලබා දීමට විධි විධාන සලසා තිබේ…

ඒ අනුව විදේශ රැකියා සදහා යොමුවන ඉහත කි කාණ්ඩයන්ට අයත් සියඵම කාන්තාවන් එකි අවශ්‍යතාවය කාර්යාංශ ලියාපදිංචියට ‍පෙර සම්පුර්ණ කිරිම අනිවාර්ය වන අතර එසේ කටයුතු නොකරනු ලබන කාන්තාවන්ගේ වි‍දේශගතවිම අත්හිටුවිමටද කාර්යාංශ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය පියවර ගනු ලබන අවස්ථා පවති. එබැවින් මේ පිලිබදව පුඵල් වශයෙන් මහජනයා දැනුවත් කිරිම ඉතා වැදගත් කරුණකි.

රැකියා සඳහා මව්වරුන් විදේශගත වීම හේතුවෙන් දරුවන්ගේ සමාජීය ආරක්ෂණය සහ අධ්‍යාපන ක්‍රියාවලිය බිඳ වැටීමේ ගැටළු අවම කිරීමේ අරමුණින් නව ක්‍රමවේදය ක්‍රියාවට නැගෙන අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.slbfe.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.