නැති බැරි කමට රට ගිහින් ආපහු ආවේ අත පය කඩාගෙන

නැති බැරි කමට රට ගිහින් ආපහු ආවේ අත පය කඩාගෙන

පවුලේ අගහිඟකම් දරාගත නොහැකිව ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස රැකියාවකට ගිය 37 හැවිරිදි කාන්තාවක් සේවය කළ නිවෙසේ පඩිපෙළකින් පහළට ඇද වැටී පිටකොන්ද, දෙපා සහ එක් අතක් බිඳී ඔත්පළව යළි මෙරටට එවීමේ පුවතක් පොළොන්නරුව, බැඳිවැවෙන් වාර්තා වේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පොළොන්නරුව, බැඳිවැව, ධීවර මාවත, අංක 25/1 ලිපිනයේ පදිංචි එම්. දිනේෂා මල්කාන්ති (37) නමැති අවිවාහක කතකි. තමන් අනතුරට ලක්වූ අවස්ථාවේ නිසි ප්‍රතිකාරයක් නැතිව වෙළුම් පමණක් දමාගෙන විත් දෙසතියක් තිස්සේ කාමරයකට දමා තිබූ බවත් එම කාලයේදී තමන් වැසිකිළියට පවා ගියේ බඩගාගෙන බවත් ඇය කියා සිටියාය.

තමන් නිවෙසේ තනිකර නිවැසියන් දිනපතා තම කටයුතුවලට පිටවෙන බවත් එක්තැන්ව සිටි තමන්ට අත් උදව්වට හෝ කිසිවෙක් එම කාලයේදී නොසිටි බවත් ඇය හැඬ­ූ­ කඳුළින් කීවාය.

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ආයතනයක් මඟින් ඕමානයේ නිවෙසක ගෘහ සේවිකාවක ලෙස ඇය ගොස් ඇත්තේ 2022 වසරේ ජූලි 21 දිනය. මහල් දෙකකින් යුත් එම නිවෙසේ රැකියාව කරමින් සිටින අතරතුර පසුගිය මාර්තු මස 28 වැනි දින නිවෙස පිරිසුදු කරමින් සිටි අවස්ථාවේ උඩුමහලේ සිට පඩිපෙළකින් පහළට ඇදවැටී පාද දෙකෙහි සහ දකුණු අතේ අස්ථි බිඳීමකට ලක්වූ බව දිනේෂා පවසයි.

එමෙන්ම ඒ අනතුරින් තමාගේ කොඳුඇට පෙළටද හානි සිදුවූ බව පැවැසූ ඇය මෙම අනතුරින් පසුව නැඟිට ගැනීමටවත් නොහැකි තත්ත්වයට තමන් පත්වූ බවත් කීවාය. තමන් දන්නා හඳුනන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට තමන් මුහුණ පා සිටින අසරණ තත්ත්වය පිළිබඳව දුරකථනයෙන් දැනුම්දී උදවු උපකාර ඉල්ලා සිටි බවත් ඒ අවස්ථාවේ ඇය තමන්ට උදව් කිරීම සඳහා පැමිණීමට කැමැත්ත පළ කළද නිවෙසේ හාම්පුතුන්ගෙන් ඊට අවසරයක් නොලැබුණු බවද ඇය පැවැසුවේ හැඬූ කඳුළින් යුතුවය. පසුව ඕමානයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහායෙන් පසුගිය මාර්තු මස 28 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි බවද දිනේෂා කීවාය. රෝගී තත්ත්වයෙන් පසුවන තම මව සහ මල්ලීගේ බිරිය තමන්ට ඇප උපස්ථාන කරන බවද කීය. මේ වනවිට පොළොන්නරුව මහ රෝහලෙන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බවත් කොඳු ඇට පෙළේ සැත්කමක් සිදුකිරීමට නියමිතව ඇති හෙයින් ඒ සඳහා අවශ්‍ය උපකරණ මිලදී සපයාදීමට රුපියල් 80,000ක පමණ මුදලක් දැරිය යුතුව ඇතැයිද ඒ මුදල සපයා ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවද ඇය කියා සිටී.

“මම මේ රැකියාවට ගියේ පවුලේ ආර්ථික අමාරුකම් නිසයි. මගේ තාත්තා අංශභාග රෝගය වැලඳිලා ඔත්පළව ඉන්නේ. අම්මත් කාලයක ඉඳන් අසනීපයෙන්. අපේ පවුලේ දරුවන් 04 දෙනයි. මම දෙවැනියා. පවුලේ කිසිම කෙනකුට ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. ඒ නිසයි මම ගෘහසේවිකාවක් හැටියට රැකියාවකට යන්න තීරණය කළේ. මගේ වයස අවුරුදු 37යි. මම තවම විවාහ වෙලත් නෑ. 2022 අවුරුද්දේ ජූලි මාසයේ මම ඕමානයේ රැකියාවට ගියා. ඒ ගෙදර හාම්පුතුන් මුල ඉඳලම මට සැලකුවේ හරිම අකාරුණික විදිහට. මේ අනතුර සිද්ධ වුණාට පස්සේ මම හරිම අසරණ වුණා. මාව ඉස්පිරිතාලෙකට අරන් ගිහින් බැන්ඩේජ් දාලා ගෙනැල්ලා කාමරයකට දැම්මා. ඒ අය ගෙදර ‍ෙදාරවල් වහලා උදේට රස්සාවට යනවා. ආයේ හවසට ගෙදර ඇවිල්ලත් මම ගැන හොයා බැලුවේ නෑ. කන්න මොනවාහරි ටිකක් දුන්නා විතරයි. මම ආපහු ලංකාවට යන්න ඕන කියලා කිව්වා. ඒ ගැන සැලකිල්ලක් දැක්වුවෙත් නෑ. පස්සේ මම අඬලා ඉල්ලා හිටියා. එහෙම දවස් ගාණක් ඉල්ලීම කළාට පස්සෙයි එන්න අවස්ථාව දුන්නේ. මට මාස තුනක පඩිය ඒ අය දුන්නෙත් නෑ. කොහොම හරි මට ආපහු ලංකාවට එන්න ලැබුණු එක ලොකු දෙයක්. මම දැන් පොළොන්නරුව මහ රෝහලෙන් අවශ්‍ය ප්‍රතිකාර ගන්නවා. ‍ෙදාස්තර මහත්තුරු මාව පරීක්‍ෂා කරලා කිව්වා පිට කොන්ද කැඩිලා තියෙන්නේ කියලා. ඒ වගේම මගේ කකුල් දෙකයි වම් අතයි කැඩිලා තියෙන්නේ කියලා කීවා. පිට කොන්දට ප්ලේට් එකක් දාන්න ඕන කිව්වා. ඒක අපි පිටින් අරගෙන දෙන්න ඕන. ඒ සඳහා රුපියල් 80,000ක මුදලක් යනවා. මට ඒකට අවශ්‍ය සල්ලි නෑ. කවුරුන් හරි මගේ මේ අසනීප තත්ත්වය හොඳකර ගන්න උදවු කරනවා නම් ලොකු දෙයක්” යැයිද ඇය කීවාය.

(දිවයින)