විදේශ සේවා නියුක්ති  කාර්යාංශ කටයුතු ඩිජිටල්කරණය කරන්නැයි ඩිජිටල් පුරවැසි සංගමයෙන් ඉල්ලීමක්

විදේශ සේවා නියුක්ති  කාර්යාංශ කටයුතු ඩිජිටල්කරණය කරන්නැයි ඩිජිටල් පුරවැසි සංගමයෙන් ඉල්ලීමක්

විදේශ රැකියා ක්ෂේත්‍රය  ඩිජිටල්කරණය කිරිමේ ක්‍රියාවලිය   කඩිනම් කරන්නැයි  ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටියි. (2023.05.11) දින එම සංගමයේ සභාපති අමන්ද රණසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ කාර්යාංශයේ  සභාපති ඒ. ඒ. එම් .හිල්මි අසිස්  මහතා මුණ ගැසී අදාළ ඉල්ලීම ඉදිරිපත් කළේය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විදේශ රැකියා ක්ෂේත්‍රය  ඩිජිටල්කරණය  කිරිමට කටයතු කරන බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මෙම ඉල්ලිම ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කටයතු කර තිබේ.

එහිදි කාර්යාංශ සභාපති හිල්මි අසිස් මහතා සහ ඩිජිටල් පුරවැසි සංගමයේ සභාපති අමන්ද රණසිංහ මහතා අතර,විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය  කිරීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා එය පාදක කොට ගත හැකි ආකාරය පිළිබඳ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි..

විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවන වංචනික ක්‍රියා  සම්පූර්ණ වශයෙන් නවතාලීමටත් විදේශයන්හි සිට ලැබෙන රැකියා ඇණවුම් වේගවත්ව මෙරටට ළඟා කර ගනිමින් ලාංකිකයින් රැකියාගත කිරීමේ ක්‍රියාවලිය කාර්යාක්ෂම කිරීමටත් ඩිජිටල්කරණ ක්‍රියාවලිය ඉවහල් වනු ඇති බවට එහිදී අවධාරණය විය. නව තාක්ෂණය විසින් අත්පත් කොට ගෙන ඇති දැනුම සහ වේගවත් බව ක්ෂේත්‍රයට ආදේශ කිරීමට මෙම ක්‍රමවේදය යොදාගත හැකිවනු ඇතැයි ද මෙමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය පුළුල් හා සුබදායී වෙනසකට ලක් කරනු ඇති බවට ද එහිදී විශ්වාසය පළ කෙරිණි.

තවද විදේශ රැකියා ක්ෂේත්‍රයේ කටයුතු, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් වඩාත් වෘත්තිය භාවයකින් යුතුව මෙම ක්ෂේත්‍රය පවත්වාගෙන යා හැකි බවද විදේශ රැකියාවලට ප්‍රවේශ වන ශ්‍රමිකයාගේ සුරක්ෂිතතාව සහතික කළ හැකි වනු ඇති බවද මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ගෙන ඇති පියවර පැසසුමට ලක්වන බවද ඩිජිටල් පුරවැසි සංගමයේ සභාපති අමන්ද රණසිංහ මහතා එහිදී පැවසිය.

එමෙන්ම මෙම ඉදිරිගාමී පියවර වෙත ගමන් කිරීමේදී තම සහාය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලබා දීමට ඕනෑම මොහොතක සූදානම් බව ද ඒ මහතා කාර්යාංශයේ සභාපති හිල්මි අසිස් මහතා වෙත දන්වා සිටියේය. මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පලකිරිම සම්බන්ධයෙන් කාර්යාංශය ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයට සිය ප්‍රසාදය පලකරයි.