රට රැකියා ජාවරම්කර රටින් පැන සිටි කත ගුවන්තොටේදී මාට්ටු

රට රැකියා ජාවරම්කර රටින් පැන සිටි කත ගුවන්තොටේදී මාට්ටු
  • ලක්ෂ ගණනින් වංචා කළැයි පැමිණිලි 48ක්

රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයින් පිරිසක් රවටමින් මුදල් වංචා කළ බවට චෝදනා ලත් කණ්ඩායමකට අයත් මූන්දලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ (2023.05.15 ) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය. කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දි තිබූ නියෝගයකට අනුව එම කාන්තාව විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හඳුනාගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත භාර දී ඇති අතර එහිදී ඇය කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්ව ඇත.

කුරුණැගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක සේවය කරමින් රුමේනියාවේ රැකියා සඳහා යවන බව පවසා එක්කෝටි දශ ලක්ෂයකට අධික මුදලක් ගත් බවට අත් අඩංගුවට පත් තැනිත්තියට සහ තව දෙදෙනෙකුට විරුද්ධව පැමිණිලි 48ක් පමණ කාර්යාංශය වෙත ලැබී තිබිණි. අත්අඩංගුවට පත්ව ඇත්තේ එම පැමිණිලි අනුව කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණු කරන ලද නඩුවක දෙවන සැකකාරියයි. එහි පළමු සැකකාරිය සහ දෙවන සැකකරු මේ දක්වා සැග වී සිටින බවත් ඔවුන් සොයා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත් කාර්යාංශ විශේෂ විමර්ශන අංශය පවසයි.

අත් අඩංගුවට පත්ව ඇති මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු රුමේනියාවේ හෝටලයක ලක්ෂ දෙකක මාසික වැටුප් ඇති රැකියා ලබා දෙන බව කියමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක් රවටමින් මෙම වංචාවට අදාල පැමිනිල්ලේ දෙවන සැකකාරිය ලෙස හදුනාගෙන ඇති මෙම සැකකාරිය විසින් මුදල් වංචාව සිදුකර ඇත. සැකකාරිය මීට මාස කිහිපයකට පෙර දිවයිනෙන් මැලේසියාවට පිටත්ව ගොස් තිබිණි. ඇය නැවත මෙරටට පැමිණෙන අවස්ථාවේ 2023.05.15 දින මෙසේ අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව මෙම කාන්තාව එදිනම කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ වූ අතර එහිදී රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරිර ඇප දෙකක් සහ රුපියල් දස දහසක මුදල් ඇප මත සැකකාරිය මුදාහැරීමටත් නඩුව ලබන සැප්තැම්බර් 06 වන දින කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය වෙනුවෙන් එහි නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ඉඳුනිල් පුෂ්පකුමාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.