නීති විරෝධීව කුවේටයේ රැඳී සිටි  කාන්තාවන් 30 දෙනෙකු යලි දිවයිනට

නීති විරෝධීව කුවේටයේ රැඳී සිටි  කාන්තාවන් 30 දෙනෙකු යලි දිවයිනට

නීති විරෝධීව කුවේට් රාජ්‍යෙය්  රැඳී සිටි 30 දෙනෙකුගෙන් යුත් කාන්තාවන් පිරිසක්  (2023.05.16) දින කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණී බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්ායංශය පවසයි. ගෘහස්ත සහ විවිධ ආයතනවල රැකියාවන්හි නිරතව සිට රැකියා ස්ථානවලින් පැන ගොස් වෙනත් සේවා ස්ථානවල රැකියා කරමින් සිටි අය, වලංගු වීසා කාලය අවසන්ව එරට රැඳී සිටි පිරිස් සහ ගිවිසුම් ගත කාලය අවසන් වී එරට රැඳී සිටි අය මෙම කණ්ඩායමට  ඇතුළත් වෙති.

එසේ එරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ගමන් බලපත්‍ර නොමැතිව රැඳී සිටි අදාළ පිරිස කුවේටයේ  ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ලියපදිංචි කොට, එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ කුවේට් පොලිසියේ සහයෝගය සහිතව තාවකාලික අවසරපත් සකසා මෙරටට එවීමට කුවේටයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ  එහි කම්කරු හා සුබ සාධන අංශය කටයුතු කර තිබේ.

එම පිරිස අද දින අලුයම අල් ජසීරා ගුවන් සේවයට අයත් J9 551 ගුවන් යානයෙන් මෙරටට පැමිණියහ. ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ වෙති. එම පිරිස දිවයිනට පැමිණි පසු  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගුවන් තොටුපොළ පැමිණීමේ අංශය විසින් අවශ්‍ය පහසුකම් සපයාදී  නිවෙස් කරා පිටත් කර යවා තිබේ.

විදේශයන්හිදී සේවයේ යෙදී සිටින අවස්ථාවේදී ඇතිවන ගැටළු නිරාකරණය කිරීම සඳහා ක්‍රමවත් සමථකරණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කාර්යාංශය පෙන්වා දේ.  ඒ අනුව තම පැමිණිලි මාර්ගගත ක්‍රමයට හෝ තානාපති කාර්යාල වෙත පැමිණ හෝ තම පවුලේ ඥාතීන් මගින් කාර්යාංශය වෙත ඉදිරිපත් කළ හැකිය. එසේ ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණිකව විසදුම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවද කාර්යාංශය පවසයි.

මේ ආකාරයෙන් රැකියා සඳහා ගොස් විදේශයන්හි නීත්‍යානුකූල නොවන ලෙස රැඳී සිටින පිරිස් මෙරටට ගෙන්වා ගැනීමට කාර්යාංශය අවශ්‍ය පියවර ගෙන ඇතත් ගිවිසුම්ගත කොන්දේසිවලට එකඟව රැකියාව සිදු කර නීත්‍යානුකූලව රැකියාව අවසන් කිරීමෙන් අනතුරුව නැවත මෙරටට පැමිණීම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වගකීම බවත් කාර්යාංශය පෙන්වා දේ.