ගුවන්තොටේ සංචාරක කවුළුව හිටි හැටියේ වැසෙයි

ගුවන්තොටේ සංචාරක කවුළුව හිටි හැටියේ වැසෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විවෘත කෙරුණු  විශේෂ කවුන්ටර  මේ වන විට වසා දමා ඇති බව වාර්තා වෙයි.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශ මත පසුගිය අප්‍රේල් 24 වනදා මෙම විශේෂ කවුන්ටර විවෘත කෙරිණි.

එම කවුන්ටරය  විවෘත කර මාසයක් යන්නට පෙර එය වසා දැමීමට තීරණය කිරීම කාගේ තීරණයක් අනුව කළේ දැයි අපැහැදිලි බව  සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් චෝදනා කරති.

ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින්ම ප්‍රසිද්ධියට පත්කොට පිහිට වූ විශේෂ කවුන්ටර හඳුන්වාදීමේ වැඩසටහන පූර්ව දැනුම්දීමක් හෝ නොකර වසා දැමීම නිසා විදෙස් සංචාරකයන්ට මෙරට සම්බන්ධව ඇති විශ්වාසයට හානිකර ලෙස බලපාන බව සංචාරක කර්මාන්තකරුවෝ පවසති.

රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන ක්ෂේත්‍ර සම්බන්ධව ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු මේ ආකාරයට හකුලා දැමීමට ඉඩහැරීම නරක පූර්වාදර්ශයක්  බවද සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් පවසති.