කල් ඉකුත්වූ වීසා ඇති විදේශිකයින්ට සහනයක්

කල් ඉකුත්වූ වීසා ඇති විදේශිකයින්ට සහනයක්
වීසා කාලය ඉක්මවා ඇති විදේශීකයින්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
 
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදි මෙම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
 
ඒ අනුව වීසා කාලය දීර්ඝ කරගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 7ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශීකයින් සඳහා දඩ මුදල් අය නොකිරිමට තීරණය කර තිබේ.
 
අතිවාස කාලසීමාව දින 7කට වැඩි සහ දින 14ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා අමෙරිකානු ඩොලර් 250ක මුදලක් අය කිරීමටත්,  අතිවාස කාලසීමාව දින 14කට වැඩි කාලසීමාවක් සඳහා අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරිමටත්,  ප්‍රතිපාදන සකස් කර තිබේ.
 
ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සහ මෙරට තුළ ක්‍රියාත්මක විදේශ දූත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් හට දඩ මුදල් ගෙවීම හේතුවෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම සංශෝධන සිදුකර ඇත.
 

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා මීට පෙර අමෙරිකානු ඩොලර් 500ක මුදලක් අයකරනු ලැබීය.