මැදපෙරදිග ගිය කතක‌ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මැදපෙරදිග ගිය කතක‌ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටියදී  පීඩාවන්ට පත්වන ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහාය ලබාදීම සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ  (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
 
ඕමානයේ ගෘහ සේවයට ගොස් හිරිහැරයට ලක්ව අතරමංව සිටින වවුනියාවේ පදිංචි සෙල්ලයියා කාලි අම්මා නමැති කාන්තාවක  වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් මෙම පෙත්සම ගොනුකළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.
 
එහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ. ඒ. එම්. හිල්මි ඇතුළු එහි අධ්‍යක්ෂවරුන්, කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර, එම අමාත්‍යාංශ ලේකම්වරයා, ඕමානයේ තානාපති අමීර් අජ්වාඩ් ඇතුළු එකොළොස් දෙනෙක් නම්කර ඇත.
 
පෙත්සම්කාර කාලි අම්මා නමැති කාන්තාව 2022 වසරේ අප්‍රේල් මස ගෘහ සේවය සඳහා ඕමානයට ගිය බවත්, ඕමානයට යාමට පෙර ඇය ලෙබනනයේ අවුරුදු 06ක් ද, කුවේටයේ අවුරුදු 03ක් ද, ගෘහ සේවයේ නිරත වී ඇති බවත් පෙත්සම්කරු සඳහන් කරයි.
 
ඕමානයේ  නිවසක මෙහෙකාර සේවයට ගිය පසු එම නිවසේ දී ඇය තාඩන පීඩනවලට පත්වූ බවත්, ඇයගේ වැඩ අසතුටුදායක බව සඳහන් කරමින් ඇයව නිවසින් පිටත් කිරීමට එම නිවසේ හාම්පුතුන් කටයුතු කළ බවත් එහි දැක්වෙයි.
 
ඉන් අනතුරුව අදාළ කාන්තාව ඕමානයේ පිහිටා ඇති ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර එහි අගතියට පත් කාන්තාවන් 30 දෙනෙකු පමණ සිටි බවත්, එහි සිටින කාන්තාවන් විවිධ අතවරයන්ට ලක්වන අතර ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.
 
පසුව කාලි අම්මා  ඇතුළු එහි රැඳී සිටි කාන්තාවන් විරෝධතාවයක් ආරම්භ කළ අතර ඉකුත් මැයි මස 25 වනදා ඔවුන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
 
මෙම කාන්තාව නැවත ලංකාවට ගෙනැවිත් දෙන ලෙස වව්නියාවේ පිහිටි විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශ කාර්යාලයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ඉල්ලීම් කළ බවත්,  ඒ සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ පසුව රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාදෙන ලෙස එහි නිලධාරීන් ඉල්ලා සිටි බවත්, එතරම් මුදලක් ඇයගේ පවුලේ සාමාජිකයින් සතුව නොමැති බවත් පෙත්සමේ සඳහන් කොට තිබේ.
 
අනෙක් අතට මෙම කාන්තාවට නීතිමය සහායක් ලබාගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, අදාළ කාන්තාව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයෙන් ඇයැද සිටියි.
 
එමෙන්ම ඇයට එරෙහිව ඕමානයේ පැවැත්වෙන නඩු කටයුතුවලදී නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය සහාය ලබාදීමට කටයුතු කරන ලෙසද, විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සමින් ඉල්ලා ඇත.
 
මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැවරී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර නීතීඥවරයා මෙම ක්‍රියාව තුළින් කාලි අම්මා නමැති කාන්තාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි.